News

ලාංකිකයන්ට දැන් ඉතිරිව ඇත්තේ රට ගොඩ නැගීම යන විකල්පය පමණි

සියලුම ශ්‍රී ලාංකිකයන්ට අද ඉතිරි වී ඇත්තේ ශ්‍රී ලංකාව ගොඩනැගීම යන විකල්පය පමණක් යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට එකාවන්ව කටයුතු නොකළහොත් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇතැයි ද අගමැතිවරයා ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන අග්‍රාමාත්‍යවරයා මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම කළ යුතු යැයි ද සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය කරා ගිය රටක් විය. 2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුණේය. 2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5% දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව අඩු වී 2019 වන විට 2.3%ක් විය. 2014 අවසානයේ 7299ක් වූ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වන විට 5990දක්වා අඩු විය. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදුවූයේ 2015 සිට 2019 දක්වා මුළු කාලපරිච්චේදය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 60ක තරම් මෑත ඉතිහාසයේ පහතම අගයක පැවතියදීය.

යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ මේ දරුණු ආර්ථික බිඳවැටීමට කිසිදු බාහිර හේතුවක් නොවීය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථිකය බිඳවැටීම තවත් උත්සන්න විය. 2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයකි. කොවිඩ් – 19 වසංගතය විසින් මුළු ලෝකයම ගිල ගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේ. කොවිඩ් 19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වී ඇත. එවන් තත්ත්වයක් යටතේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍ර වෙන නිසා ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශ ගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වනු ඇත.

මෑතක දී, රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, තමන්ගේ වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කළ විට, විපක්ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළේය. මෙහි දී සිදුවූයේ හුදෙක්ම ස්වේච්ඡා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක් බව දැන දැනත් එය අනිවාර්ය වැටුප් කපාහැරීමක් හැටියට ඔවුන් හුවා දැක් වූයේය.

මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ් 19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බව අපි වටහා ගත යුතුය. ඉදිරියට එන අසීරු ගෝලීය තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා අපගේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මතය.

කොවිඩ් 19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම් මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. වර්තමාන​යේ මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගේ සිට පහලට සියලු දෙනා, ජයග්‍රහණය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ 2006-2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමකි. කොවිඩ් 19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයකි.