News

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂක බන්ධනාගාරයට

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්දියකට අත්අඩංගුවට ගෙන සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හොරණ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක කේ. සුනිල් පෙරේරා නැමැත්තා අද (08) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව සැකකරු ලබන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

යතුරු පැදියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ කාන්තාවකට ඊට අදාළ ලේඛන ලබාදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.