News

ලොකු බදු ගෙවන 600ක් විගණනයට නව බදු ඒකකයක්

නව බදු ඒකකයක් පිහිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සූදානම්ය. දෙපාර්තමේන්තුවට වාර්ෂිකව විශාලතම බදු ආදායම් ගෙන එන සමාගම් හයසියයක් විගණනය කිරීම සඳහා වෙන් වූ නව බදු ඒකකයක් මෙලෙස ස්ථාපනය කිරීමට තීරණය කර ඇත්තේ ඇස්තමේන්තුගත බදු ආදායම නොලැබෙන බවට අනාවරණය වීම නිසාය.

මෙරට විශාලතම බදු ගෙවන්නන් ඇතුළත් සමාගම් තුන්දහසක පමණ ලිපි ගොනු ඇතුළත් විශාල බදු ගෙවන්නන්ගේ ඒකකයක් දැනට දෙපාර්තමේන්තුව සතුව ඇත. සමස්ත බදු ආදායමින් සියයට හැත්තෑ පහක් පමණ නියෝජනය කරන මෙම සමාගම් අතුරින් හයසියයක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම නව ඒකකය පිහිටුවීමට නියමිතය.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් අරුණ කළ විමසීමක දී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නව ඒකකයේ විමර්ශන කටයුතු සඳහා කැපවූ සාමාජිකයන් හැට අට දෙනකු දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය වෙතින් අනුයුක්ත කරන බවයි.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ උපදෙස් මත ස්ථාපනය කිරීමට නියමිත මෙම නව ඒකකයේ මෙහෙයුම් කටයුතු එළැඹෙන ජුලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. විවිධ දෙපාර්තමේන්තුවල විගණනය කරනු ලැබූ එකම සමාගමේ බදු ලිපිගොනු ගණනාවක් එක් ඒකකයකට මාරු කොට බදු ආදායම සහ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට මෙම නව ඒකකය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය වී ඇත.

නයන තරංග ගමගේ