News

‘වජිර’ වැනි ඩීල්කාරයන් සිටින තුරු එජාපය අනාථයි-මංගල

වජිර අබේවර්ධන වැනි ‘ඩීල්කාරයන්’ සිටින තුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බවත් එවැනි පුද්ගලයන් නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් තනිවී සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සිදුකර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් මංගල සමරවීර ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තමා එක්ව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවට වජිර අබේවර්ධන පෙරේදා ප්‍රකාශ කර තිබිණි.

ඒ මංගල සමරවීර හිටපු ඇමැතිවරයා විසින් තමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග නොකරන බව නිවේදනය කිරීමෙන් අනතුරුවය. අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මංගල සමරවීර ඉවත්වීම හරහා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුව අවුල් කිරීමට හැකියාව ලැබුණු බවයි.

මීට පිළිතුරු දෙමින් හිටපු ඇමැති මංගල පළකර ඇත්තේ මෙවැනි අදහසකි.

‘‘මම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙන්න ගත්ත තීන්දුව හොඳට හිතලා බලලා ගත්තු දේශපාලන පියවරක්. ඩීල් දේශපාලනයේ ඔස්තාර්ලට ඒක ‘ඩීල්’ එකක් විදිහට පේන්න පුළුවන්. මම ගත්ත තීන්දුව ජුනි 9 වැනිදා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ලා, ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාටත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් වෙන වෙනම හමුවෙලා දැනුම් දීලයි තිබුණේ.

මම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පැවැති විශ්වාසය නිසා. එනිසා මම ගනු ලබන දේශපාලන ස්ථාවරය ඔහුටද දැන්වීම මගේ යුතුකමක් වුණා. මම රනිල් වික්‍රමසිංහ හමුවුණ වෙලාවේ මගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා මිසක් උපදෙස් ගන්න ගියේ නැහැ. මම ගත්තු තීන්දුවට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නැහැ.

මං පොර වෙන්න දඟලන වජිරලා වගේ ‘ඩීල්කාරයෝ’ ඉන්න තුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නම් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මේ වගේ තක්කඩියන්ගේ නවාතැන් පලක් වී තිබීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා.’’

නයන තරංග ගමගේ