News

වරායේ මේ මස ආදායම හරි අඩකින් පහළට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙම මස ආදායම පෙර වසරවල අප්‍රේල් මාසයේ ආදායමට වඩා සියයට පනහකින් නොහොත් රුපියල් බිලියන 2.5කින් පහත වැටෙනු ඇතැයි වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගත්විට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසයි.

මේ අතර කොළඹ වරායේ බහලුම් (කන්ටේනර්) මෙහෙයුම් කටයුතු 22%කින් පහත වැටී ඇති බවද පවසන සභාපතිවරයා එසේ වුවද 2020 පළමු මාස 04ක කාලය තුළ වරායට සේන්දු වී ඇති නෞකා සංඛ්‍යාව 2.2කින් ඉහළ ගොස් ඇති බවද පැවසීය.

කෙසේ වෙතත් දැනට සකස්කර ඇති වරාය අධිකාරියේ ඉලක්ක ඉදිරි මාසවලදී සංශෝධනය කරන බවද හෙතෙම සඳහන් කරයි.

පවත්නා කොවිඩ් -19 අර්බුදය හමුවේ වරාය මෙහෙයුම් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති හෙයින් වරාය අධිකාරියේ සියලුම සේවකයන් සේවය සඳහා කැඳවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අතිකාල, ආහාර, විෂබීජහරණය සහ සෞඛ්‍ය හා ප්‍රවාහන වියදම් අතිරේකව දැරීමට සිදුව ඇති බැවින් අධිකාරියට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇත.

මේ අතර කොළඹ සහ හම්බන්තොට යන වරායන් දෙකම පූර්ණ ධාරිතාවට ළඟාවී ඇති හෙයින් ඒවායේ යම් යම් ගැටලු ඇතිවී තිබෙන බව සඳහන් කරන සභාපතිවරයා වරායවලින් භාණ්ඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අදාළ සියලු පාර්ශ්වකරුවන්ට දැනුම් දී ඇතැයිද සඳහන් කරයි.

 

නයන තරංග ගමගේ