වසර 5ක් සමේ කොටස් සුරක්ෂිතව තැබීමේ අධි ශීතකරණ ක්‍රමයක්
කොළඹ ජාතික රෝහලේ ‘චර්ම බැංකුවක්’ ස්ථාපිත කිරීමට පියවර ගත් බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ (පුහුණු) රන්දිල් ප්‍රබෝධ අල්විස් සඳහන් කරයි.
බරපතළ පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරන රෝගීන්ට බද්ධ කිරීම සඳහා සම් නොමැති වීමෙන් ඔවුන් මියයන බැවින් එම ජීවිත බේරා ගැනීමේ අරමුණින් මෙම චර්ම බැංකුව ස්ථාපිත කිරීමට පියවර ගත් බව වෛද්‍ය අල්විස් පවසයි.
මියගිය පුද්ගලයන්ගෙන් ලබාගන්නා සම ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අධිශීතකරණයන් තුළ ගබඩාකර බරපතළ පිලිස්සුම් රෝගීන්ගේ අවශ්‍යතාව මත බද්ධකිරීම් සිදුකෙරේ.
මෙසේ මියගිය පුද්ගලයන්ගෙන් සම ලබා ගැනීමට නම් එම පුද්ගලයා ජීවතුන් අතර සිටියදී තමන්ගේ සම පරිත්‍යාග කිරීමට ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකයේ ලියාපදිංචි වී තිබිය යුතුය. එසේ නොමැති නම් මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත මත ඔහුගේ සම ලබා ගත හැකිය.
මියගිය පුද්ගලයන්ගේ පිටෙන් සහ පාදවලින් පමණක් මෙලෙස සම ලබාගනී. එසේ ලබාගන්නා සම වසර 5ක කාලයක් සුරක්ෂිතව අධි ශීතකරණයේ තබාගත හැකිය.
මෙම ‘සම’ සෙල්සියස් අංශක 5 ශීතාගාර කාමරයක් තුළ සුරක්ෂිතව තැබිය යුතු බැවින් එම ශීතාගාර පහසුකම ලබා දීමට හා එම ඒකකයට අවශ්‍ය තවත් බොහෝ දෑ සපයා දීමට පරිත්‍යාගශීලීන්ට උපකාර කළ හැකිය.
පරිත්‍යාගශීලීන්ට මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් කොළඹ ජාතික රෝහලේ ජාතික පිලිස්සුම් ඒකකයෙන් විස්තර ලබා ගත හැකිය.
දිවයිනේ සෑම රෝහලකටම අැතුළත් කරන බරපතළ පිලිස්සුම් රෝගීන් ඇතුළත් කරනුයේ කොළඹ ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකයටය. එම ඒකකය භාර ප්ලාස්ටික් විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේ සියලුම සැත්කම් සිදුකරන බව වෛද්‍ය රන්දිල් පවසා සිටියි.
පසුගිය මාසයේ කොළඹ ජාතික රෝහලට බරපතළ පිළිස්සුම් තුවාල සහිතව පුද්ගලයන් පස් දෙනකු ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. බද්ධ කිරීම සඳහා සම තිබුණේ නම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇති බව වෛද්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ
