වැඩි මුදල් අයකරන ටිකට් නොදෙන බස් රථ සොයන්න වෙනම කණ්ඩායමක්
රජයේ නියමිත මිල ගණන්වලට වැඩියෙන් ගාස්තු අය කරන හා ටිකට් නොදෙන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බවත්, මේ වන විටත් එවැනි බස් රථ පහක මාර්ග බලපත්ර අත්හිටුවා ඇති බවත් ප්රවාහන ඇමැති දිළුම් අමුණුගම පවසයි.
ඇතැම් බස් රථවලින් නියමිත මුදලට වඩා වැඩියෙන් ගාස්තු අයකරන බවට හා ඒ සඳහා නියමිත ටිකට් පතක් නොදෙන බවට මගීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද ඒ මහතා කීය.
වැඩිපුර මුදල් අයකරන හා ටිකට් පත් නොදෙන බස් රථ වැටලීම සඳහා ගමනාගමන කොමිෂන් සභාව මගින් වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන බවත් මේ සම්බන්ධව නිහඬව නොසිට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස තමන් මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසුවේය.
වැරදි දුටුවහොත් නිහඬව නොසිට ඒ සම්බන්ධව කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ ගමනාගමන කොමිෂන් සභාවේ 1995 අංකයට දැනුම් දෙන ලෙස තමන් මගී ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය.
මෙයට අමතරව ගමනාගමන කොමිෂන් සභාව මගින් Bad Bus නමින් ඇප් එකක් හඳුන්වාදී තිබෙන බවත් එයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව මගීන්ට තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
බස් රථයේ අංකය, එය ගමන් ගන්නා මාර්ගය එවීමට මගීන් ක්රියාකරන්නේ නම් ගමනාගමන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ක්රියාත්මක වීමට හැකි බවද හෙතෙම ප්රකාශ කළේය.
කමල් සුරවීර- මහනුවර
