විදුලි බිලේ බරෙන් කොටසක් ආණ්ඩුව භාර ගනී
ඇඳිරිනීතිය පනවා තිබූ මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු හේතුවෙන් මහජනතාවට දැරීමට සිදුවී ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව විදුලි බිල් සඳහා මුදල් අමාත්‍යංශයේ නිර්දේශ සහිතව කඩිනමින් උපරිම සහනයක් ලබා දීමට තීරණය වී ඇති අතර අඩු ආදායම් ලාභීන්ට වැඩි ප්රතිශතයක සහනයකුත් ඉහළ ආදායම් ලාභීන්ට අඩු ප්රතිශතයක සහනයකුත් ලබාදීමට තීරණය කර තිබේ.
විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද සිව් පුද්ගල කමිටු වාර්තාව ඊයේ (08 වැනිදා) අමාත්‍ය මණ්ඩලයට යොමු කළ බවත්, එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රමුඛ රජය තීරණය කරන ලද බවත් ඊයේ (08 වැනිදා) ඛනිජතෙල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීමටත් ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර එම යෝජනා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඇමැතිවරයා පවසන පරිදි කිසියම් පුද්ගලයෙක් දැනටමත් බිල්පත් සඳහා වැඩිපුර මුදල් ගෙවා ඇත්නම්, ඒවා ආපසු ලබා දීමට හෝ ඊළඟ බිල්පතෙන් පියවීමට හෝ පියවර ගැනේ. එමෙන්ම මාර්තු හා අප්‍රේල් මාස වෙනුවෙන් බිල්පත් සඳහා ගෙවීමට සහන කාලයක් ලබා දීමට ද යෝජිත අතර විදුලි බිල්පත් නොගෙවීම නිසා කිසිසේත්ම කිසිදු පුද්ගලයකුගේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා
විදුලි බල මණ්ඩලයත් මේ වන විට සැලකිය යුතු ලෙස පාඩු ලබන තත්ත්වයක තියෙන්නේ. නමුත් අපි හිතනවා මේ වසරේ පාඩුව ගණනය කළ ප්‍රමාණයට වඩා බිලියන 20 ක් විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා. ක්‍රමානුකූලව පාඩුව අවම කිරීම මගින් 2023 වන විට විදුලි බල මණ්ඩලය ලාබ ලබන තත්ත්වයටත් සමහර විට ඒ ලාභය පාරිභෝගිකයන්ට ලබාදිය හැකි තත්ත්වයටත් පත්වෙන්න පුළුවන්. යැයිද පැවසීය.
ශිරන්තනි මානවඩු
