News

විදෙස් වෛද්‍ය උපාධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

විදේශ රටවලදී වෛද්‍ය උපාධි සමත් සිසුන්ට මෙරට වෛද්‍ය වෘත්තීයේ යෙදීම සඳහා වන විභාගයට (ඇක්ට් 16) පෙනී සිටීමට නම් සම්මාන දෙකක් සහිත උසස් පෙළ සමත් වීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී.

අනිවාර්ය කළ එම සුදුසුකම් නොසකලා ‘ඇක්ට් 16’ විභාගයට පෙනී සිටීමට විදේශීය වෛද්‍ය උපාධිධාරී සිසුන්ට අවසර දෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් අත්තනෝමතික තීරණය නිසා එකී විභාගයට පෙනී සිටි විදේශීය වෛද්‍ය උපාධිය සමත් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

විදේශීය වෛද්‍ය උපාධි සමත් සිසුන් කීපදෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත් විණි.

විනිසුරු මඬුල්ල ගත් තීන්දුව ලියා තිබුණේ විනිසුරු දෙහිදෙණිය විසිනි.

මුලින්ම විභාගයට ගනු ලැබුවේ විදේශ උපාධිධාරියකු වන මත්තේගොඩ පදිංචි එම්.ආර්.එස්. සිල්වා ගොනු කළ පෙත්සමයි.

විදේශීය ​වෛද්‍ය උපාධි ලැබූ පෙත්සම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණි පසු වෛද්‍ය වෘත්තීයේ යෙදීමට ලියාපදිංචි වීම සඳහා අයැදුම් කර ඇති නමුත් වෛද්‍ය සභාව ඊට අනුමැතිය දී නැත.

සිසුන් පෙත්සම් ගොනු කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පෙත්සම් විභාගයේදී කියා සිටියේ වෛද්‍ය ආඥා පනතේ 29 (2) වගන්තියට අනුව විදේශ වෛද්‍ය උපාධිධාරීන් සඳහා විභාග පැවැත්වීමට බලය පැවැරී ඇති බවයි. මෙම විභාගය සමත් නොවුවහොත් ඔවුනට වෛද්‍ය වෘත්තීයේ යෙදීමට නොහැකි බවද වෛද්‍ය සභාව කියා සිටියේය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ පූර්ව ඇතුළත් කිරීමේ සුදුසුකම් නියම කිරීමට වෛද්‍ය සභාවට බලය දී නැති බවයි.

ජනාධිපති නීතිඥවරයකු වන රොමේෂ් ද සිල්වා, උපුල් ජයසූරිය පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ මනෝහරාද සිල්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටියේය.

ජ්‍යේෂ්ඨ රජයේ අධිනීතිඥ රජීව් ගුණතිලක, රජයේ අධිනීතිඥ සුරේන් ඥානරාජ් නීතිපති වෙනුවෙන් පෙනී සිටියහ.

සරත් ධර්මසේන