News

විදෙස් සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා හඳුන්වා දීමට යෝජිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයට පත් කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටඅරච්චි සඳහන් කරයි.

එලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ ඉදිරි සතියේදී ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා අන්තර්ජාතික ආයතන වෙත යොමු කරන බවද ලේකම්වරයා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සකස් කරන ලද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ ලේඛනයක් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සංචාරකයන් මෙරටට පැමිණීම ආරම්භකරන දිනයේ පටන් ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළෙ විවෘත කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවද හෙතෙම පවසයි.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් කොවිඩ් -19 වයරසය පිළිබඳ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළ බවට සහතිකය රැගෙන ආ යුතු අතර අවම තරමින් රාත්‍රී පහක්වත් මෙරට රැඳී සිිටිය යුතුය.

මීට අමතරව පොදු ප්‍රවාහන පද්ධති භාවිත කිරීමද විදෙස් සංචාරකයන්ට තහනම් කිරීම ඇතුළු තවත් උපදෙස් රැසක්ද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නයන තරංග ගමගේ