විභාග දිනය ප්‍රකාශ නොකිරීම දරුවන්ගේ මානසිකත්වයට බලපෑමක් – ලං.ගු.සේ. සංගමය
උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග මෙම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘අරුණ’ට අනාවරණය කළේය.
උසස් පෙළ විභාගය එම මස මුල් සතියේ දී ආරම්භ කිරීමට හා ශිෂ්‍යත්ව විභාගය එම මස මැද භාගයේ පැවැත්වීමට නියමිත යැයිද එම ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම විභාග දින ප්‍රකාශයට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අනවශ්‍ය ලෙස කල් ගත කිරීම දරුවන්ගේ මානසිකත්වයට බලපාන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.
පාසල් ආරම්භ කිරීමේ දින ප්‍රකාශයට පත්කර විභාග පවත්වන දින ප්‍රකාශ කිරීම සඳහා තවත් කාලයක් ගත කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් යැයි ද කී හෙතෙම කාගේ අවශ්‍යතාව මත මෙවැනි කටයුතු සිදු වන්නේ ද යන්න ප්‍රශ්න කර සිටී.
උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වැනිදා ආරම්භ කෙරෙන බවත් ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 13 වැනිදා පැවත්වෙන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පසුගිය ජුනි මස 9 වැනිදාය. ඉන් පසු අමාත්‍යාංශය වරින් වර නිවේදනය කළේ විභාග දින වෙනස් වීමට ඉඩ ඇති බවය. එම දිනයන් දැනුම් දෙන බවට අමාත්‍යාංශය කිහිපවරක් පැවසූ නමුත් මේ දක්වා නව දිනයන් ප්‍රකාශයට පත් කර නැත. මේ අතර විභාග පවත්වන නව දින වකවානු අද (20 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යාංශය නිවේදනය කළේ පෙරේදා (18 වැනිදා) ය.
නිලන්ත මදුරාවල
