විශේෂාංග

විභාග සමත්වෙන හැටි කියාදෙන අනූහතරේ අත්තම්මා

ජීවිතය බලාපොරොත්තුවලින් පිරීයන තරමට එය සොඳුරුය. ඊට වයසක්,​ වෙලාවක්, කලාවක් නොවේ. ඒ බව මනාව පසක් කළ සොඳුරු අත්තම්මා කෙනෙකු ගැන අපට පසුගියදාක අසන්නට ලැබුණේ නාවලපිටිය ප්‍රදේශයෙනි. ඇය විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්නය. දැනට අනූහතර වන වියේ පසුවන ඇයට උපැස් යුවළක් නොමැතිව තවමත් හොඳින් කියවන්නට හැකිය. ඇය පසුගියදා ඉහළ ගෞරව සම්මාන සහිතව ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණයෙන් සමත් වූයේ වයස යනු ඉලක්කමක් පමණක්ම බව කියාපාමිනි.

‘‘බුදුදහමත් එක්ක බැඳුණු ජීවිතයක් මට තියෙන්නේ. බුදුදහම ගැන ලියවුණු පොත්පත් මම පරිශීලනය කරනවා. ත්‍රිපිටකය තේරුම් ගන්න පාලි භාෂාව ඉගෙනගත්තා. ඉගෙනගත්තේ තනිවමයි. මම පාලි භාෂාව ඉගෙනගත් නිසා මට ත්‍රිපිටකය වගේම අට්ඨ කතා පොත් කියවන්න හැකියාව ලැබුණා. මම මේ දේවල් ඇත්තටම දන්නවද කියලා බලාගන්න මට ඕන වුණා. මට ඊට කාලය ලැබු​ණේ, මගේ අධ්‍යාපන කටයුතු නවත්වලා, තවත් අවුරුදු පනහක් විතර ගෙවුණට පස්සේ.’’

ඇය කීවාය. ඒ වදන් තුළ බොහෝ​ ධෛර්යවන්ත, වාසනාවන්ත කතාවක් තිබේ. තමන් බුදුදහම දන්නවාද යන්න උරගා බලන්නට, ඉකුත් කාලයේ ඇයට අවස්ථාවක් උදාකර දුන්නේ නොසිතූ අයුරිනි. ඒ මාස කිහිපයකට පෙර සිදුකරන ලද උකුල් ඇටයේ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇයට එක තැනකට වී ඉන්නට සිදුවීම නිසාය. කොරෝනා කාලයද ඇයට ඊට ඉඩහසර සාදා දී තිබුණි.

‘‘මට ඒ වෙලාවේ හිතුණා අනුන්ගේ දේවල් ගැන හිත හිතා ඉන්නවට වඩා හොඳ​ දෙයක් කරන්න ඕන කියලා. අපි වයසයි කියලා, අපිට බෑ කියලා යම් යම් දේවල් පස්සට දාන සියලු කාන්තාවන්ට ආදර්ශයක් ලබාදිය යුතුයි කියලා. ඒ අනුව තමයි මම පාලි භාෂා විභාගයට මුහුණ දුන්නේ.’’

දියණියක් සිව්දෙනෙකුගේ ආදරණීය මවක වන ඇය, මිත්තණියක මෙන්ම මී මිත්තණියක්ද වන්නීය. ඇය දැනට ජීවත්වන නිවසේ දියණියගේද උදව්වෙන් ඇය අදාළ විභාගයට ලියන්නේ, ලෝකයෙන්ම මෙම වයසේ විභාග සමත්වූ පස්දෙනා අතරට එක්වෙමින් බවද අපට දැනගන්නට ලැබුණි.

ළමා වියේ සිටම ඉගෙනීමට උපන් හපන්කමක් පෙන්නුම් කළ ඇය ඉපදුණේ හොරණ මිල්ලෑව නම් ගම්පියයේය. ඇය උපන්නේ 1928 පෙබරවාරි 15 වනදාය. බාල සහෝදරියන් දෙදෙනෙකුට අක්කා වූ ඇය බොහෝ දිරිමත් සිතක් ඇත්තියක වූවාය.

මිල්ලෑව ගමේ පාසලේ ඉගෙනුම ලැබූ ඇය, ඉංග්‍රීසි ගුරුවරියක ලෙස පළමුව පත්වීම් ලැබුවාය. එහෙත් ඇයගේ හිත ගියේ කෙදිනක හෝ නීතීඥවරියක වීමටය.

‘‘මම එක්දහස් නවසිය පනස් ගණන්වල ​නොතාරිස් විභාගය ලිව්වා. ඒ විභාගේ සමත් වුණා. ලංකාවේ පළමුවැනියා විදිහට. ඊටපස්සේ මම ඉංග්‍රීසි ගුරුකම පැත්තක තියලා ප්‍රසිද්ධ නොතාරිස්වරියක ලෙස කටයුතු ඇරඹුවා. 1962දී තමයි මට මගේ මහත්තයාව හමුවෙන්නේ. ඒ නොතාරිස්වරුන්ගේ සම්මේලනයකට ගිය මොහොතකදීයි. එදා ඒ සම්මේලනයේ සිටි එකම නොතාරිස් කාන්තාව මම. එදා මහත්තයව දැන හඳුනගන්න ලැබුණා. පසුව දෙමාපිය ආශිර්වාදයෙන් විවාහ වුණා. විවාහයෙන් පස්සේ මම නාවලපිටියේ පදිංචියට ආවා.’’

විවාහයත් සමඟ ඇයගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලුණි. ඔහුද ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විය. පරම්පාරවෙන් පොහොසතුන් වූ ඔවුනට මිල මුදල්හි අඩුවක් නොවීය. සොඳුරු විවාහ දිවියක් ගත කරමින් සිටි ඔවුන්ගේ පවුලට දියණිවරුන් සිව්දෙනෙකු එක්වූ​යේ එම සතුට දෙගුණ තෙගුණ කරමිනි.

‘‘මහත්තයා දූලට හරිම ආදරෙයි. පුංචි දවස්වල එයාලා හතරදෙනා බලාගන්න වෙනම හතරදෙනෙක් ගෙදර හිටියා. නාවලපිටිය නගරයේ අපට ගෙවල් දහයක් ඉදිකළා. ඒක ප්‍රයෝජනයට ගන්නකල් කුලී පදනම මත ලබාදුන්නා.’’

ඇය අගහිඟකම් නැති ජීවිතයක සතුට විඳිද්දී ඊළඟට හිතේ වූ සිහිනය නම්, නොතාරිස් තනතුරෙන් ඉහළට යෑමේ සිහිනයයි. ඒ නීති විභාගය ලියා නීතීඥවරියක වීමටය. ඒත් 1970 වසරේ නීති විභාගය ලියන්නට තිබියදී ඇය මුහුණ දුන්නේ බලාපොරොත්තු නොවූ සිදුවීමකටය.

‘‘මගේ මහත්තයා හදිසියේම මියගියා. එතකොට දරුවො හතරදෙනා පුංචියි. මගේ හිතට හයියට හිටි මහත්තයගෙ මරණය නිසා මම විභාගය අමතක කරලා දරුවෝ වෙනුවෙන් කැපවෙන්න තීරණය කළා. මහත්තයා නැති වෙද්දි මගේ ලොකු දුවට අවුරුදු හතයි. ඇය 1973 අවුරුද්දේ ශිෂ්‍යත්වය පාස් වුණහම මට ලොකු සතුටක් දැනුණා. දරුවන්ගේ අනාගතය ගැන තිබුණු බය එයින් ගියා. අනෙක් දරුවො අක්කා පස්සේ යාවි කියලා මට හිතුණා. වගේම අනෙක් තුන්දෙනත් හොඳට ශිෂ්‍යත්වය සමත් වුණා.’’

මහනුවර ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනගත් එම දියණියන් විශ්වවිද්‍යාලයට යාමේ වරම් ලැබුවේ මවගේ සිහින මල්ඵල ගන්වමිනි. ඇයගේ වැඩිමහල් දියණිය වෛද්‍යවරියකි. ඇය ධම්මිකා ජයලත්ය. බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකාව ලෙස ඇය කටයුතු කරනු ලබන්නීය. දෙවැන්නිය සමුද්‍රා ජයලත්ය. ඇය ඉංජිනේරුවරියකි. ඇය ඕස්ටේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. තෙවෙනි දියණිය ඉන්ද්‍රනීලා ජයලත්ය. ඇය උපාධිධාරී ගුරුවරියක ලෙස කටයුතු කරයි. සිව්වැන්නිය, මනෝහාරි ජයලත් නීතීඥවරියක මෙන්ම වැඩබලන මහේස්ත්‍රාත්වරියකද වන්නීය.

දරුවන්ගේ ජීවිත ඇයට ගෙනාවේ අපිරිමිත සතුටකි. ඒ දෙස ආදරණීයව බලා සිටින ඇයට ඇත්තේද අපූර්ව දින චර්යාවකි. වයසට හැදෙන ලෙඩ කිසිවක්ම නැති ඇය ඒ දින චර්යාව ගැනද අපට මතක් කළාය.

‘‘මම පාන්දර තුනට අවදි වෙනවා. පො‍ළාවට අඩිය තියන්නේ සිත ඒකාග්‍ර කරගෙන. ඊටපස්සේ මම කැඳ එකක් බොනවා. ඒ කැඳ එක තරමක් වෙනස්. කඩල, කොල්ලු, මෙනේරි, උළුහාල් වැනි ධාන්‍ය වර්ග තමයි ඊට එක්කරන්නේ. මෙම ධාන්‍ය පිටි එකක් ආකාරයට සකසගෙන මමම උදේට කැඳ එක හදාගන්නවා. නැත්නම් ගෙදර සේවිකාවක් හදලා දෙනවා. ගෙදරදොර වැඩ නම් මගේ අතින් වෙනවා අඩුයි.’’

ඇය මේ කැඳ එක පානය කිරීමෙන් පහු දවසේ වැඩ ආරම්භ කරනු ලබයි. ඒ පොත්පත් කියවීමයි. ඇය සිය දියණිවරුන්ටද කුඩා කල සිටම පොත් කියවීම හුරුකළ අතර, පොතපත් සමූහයක් එම නිවසේ තිබේ.

තවද මල් වැවීම, රේන්ද ගෙතීම ඇයට තවමත් සතුට ගෙන දෙන්නකි. මේ කුමන වැඩ කළත් ඇයට අතපය කැක්කුමක් වෙහෙසක් මහන්සියක් නැත. ඇයගේ මහන මැෂිම අවුරුදු 65ක් ඉපැරණිය. එය එදා රුපියල් එක්දහස් හයසියයකට මිලදීගත් එකකි. තවමත් දරු මුණුබුරන්ගේ ඇඳුම් මසාදීම ඇය විසින් සිදුකරන තවත් දෙයකි.

‘‘මම දැන් ඉන්නේ මගේ තුන්වෙනි දුවගේ ගෙදර. මට කොලෙස්ටරෝල්, දියවැඩියාව මුකුත් නැහැ. ඇස් පේනවා. හොඳින් කන් ඇහෙනවා. මට හොඳ මතකයක් තියෙනවා. ලෝක වසංගත, ලෝක යුද්ධ මට මතකයි. ඒ වගේම 1955 සූර්යග්‍රහණය වෙලාවේ වදකහ බිව්වම ලස්සන වෙනවා කියලා කිව්වම, මායි නංගිලා දෙන්නයි වදකහ ගෙනත් හංගලා තිබ්බා. කොහොමහරි අම්මට අහුවෙලා ඒවා විසිකළා. ඒකෙන් අපි බේරුණා. ඒත් ගමේ ගෑනු ළමයි වදකහ බීලා වමනේ දාපු හැටි මතකයි.’’

ඇය එම සිදුවීම සිහිපත් කරන්නේ සිනහ මුවෙනි. පරම්පරා හතක් සමඟ ජිවත් වූ ඇය වාසනාවන්තය.

‘‘මගේ අත්තම්මා, අම්මා, මං, දුවලා, දුවලගේ දුවලා වගේම දැන් ඒ දුවලගෙ දරුවොත් ඉන්නවා. ඇත්තටම ඒ දරු මුණුබුරන්ගේ සුරතල් දකිද්දී මට මතක් වෙන්නේ මගේ දුවලගෙ පුංචි දවස්. මට බොහොම සතුටුයි. දැන් මගේ බලාපොරොත්තුව ශාස්ත්‍රපති උපාධියට ලියන එකයි.’’

ඇය කියන්නීය. එම වදන්වල ඇති සැනසීම අතිමහත්ය. ඇය ඉදිරි දිනක කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබන්නට සූදානම් වෙයි. ඇයගේ ධෛර්යවන්ත වූත්, උත්සාහවන්ත වූත් ගමනට ‘ධරණී’ අපද සුභාශිංෂණ එක් කරන්නෙමු.

දීපා වසන්ති එදිරිසිංහ