විවෘත විශ්වවිද්‍යාලයේ ආදායම කෝටි 53කින් අඩුවෙලා
ඉකුත් මාස හයේදි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ආදායම රුපියල් කෝටි පනස් තුනකින් අඩුවී තිබේ.
විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තුවලින් ලැබෙන මාසික ආදායම රුපියල් කෝටි දහයක් පමණ වන නමුත් ඉකුත් මාස හයේදී ආදායම ලෙස ලැබී ඇත්තේ රුපියල් කෝටි හතක් පමණක් බව එහි උප කුලපති මහාචාර්ය එස්.ඒ. අරියදුරෙයි විසින් පීඨාධිපතිවරුන් වෙත යවනු ලැබූ ලිපියකින් අනාවරණය වෙයි.
පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිසුන්ගේ ගාස්තු නියමිත පරිදි එකතු කරගැනීමට නොහැකි වීම මීට හේතුව බවද ලිපියේ සඳහන්ය.
විශ්වවිද්‍යාලයේ මාසික වියදම රුපියල් කෝටි තිස්පහක් වන අතර, ඉන් කෝටි දහ නවයක් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් සඳහා වෙන්කෙරේ.
ඉතිරි කෝටි දහසය කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටින්නන්ගේ හා බාහිර කථිකාචාර්යවරුන්ගේ දීමනා, අතිකාල දීමනා, ජල හා විදුලිය සඳහා වැය කෙරේ.
අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලබාදෙන රුපියල් කෝටි දහනවය කෝටි පහළොව දක්වා අඩුකර තිබීමද විශ්වවිද්‍යාලයට බරපතළ ගැටලුවක් වී තිබේ.
නිලන්ත මදුරාවල
