නවතම ප්‍රවෘත්ති

විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දියණිය වීම ගැන මට ආඩම්බරයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දියණිය වීම ගැන මට ආඩම්බරයි
යොහානි ද සිල්වා

“වෙඩි නොවදින වව්නියාව
මතකද නංගිගේ සුරතල් හිනාව
මට තාම මතකයි ඔබ ගාව
සුවඳයි…
හැම රෑම හඬවයි අම්මේ,
තාත්තා කෝ…
ඝන කැලයක තනිවෙලා
නුඹ වදිනවා යුද දිවි පසෙකලා
ඒ බව මගෙ හිත දැනන් හිටි නිසා
හැම දින නුඹ හට ආදරේ කළා”

“මගේ තාත්තා ගැන හිතලා තමයි ‘රැව්වත් දෑසින්’ කියන ගීතයේ එන මේ පදවැල් මම ලිව්වේ. මට මතකයි එකපාරක් මගේ තාත්තට වෙඩි වැදුණා. අම්මේ, තාත්තට වෙඩි නොවදින වව්නියාවකට යන්න බැරිද කියලා ඒ දවස්වල නංගි හැමදාම වගේ අම්මගෙන් අහනවා. අපේ තාත්තට යුද්ධෙදි මොකක්හරි කරදරයක් වෙන්න පුළුවන් කියන එක මම වුණත් පොඩි කාලෙ ඉඳලම දැනගෙන හිටියා. හැබැයි අපේ වාසනාවට තාත්තා අදටත් අපිත් එක්ක ඉන්නවා.”

එසේ පවසන්නී යොහානි ද සිල්වායි. සමාජ මාධ්‍ය හරහා රසික සිත් දිනාගත් මේ හුරුබුහුටි ගායිකාව ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන සේනාංකයේ සේනාධිපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ වැඩිමහල් දියණියයි.
අද ‘ධරණී’ කවරය සොඳුරු කරන්නියද ඇයයි. මේ දිග හැරෙන්නේ ඇය අපත් සමඟින් සිදුකළ සංවාදයේ සටහනයි.

ඔබ කැමති ඔබව ගායිකාවක් විදිහට හඳුන්වනවටද, නැත්නම් මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දුව විදිහට හඳුන්වනවටද?
ගායිකාවක් වීමට ලැබීම ගැන වගේම මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දියණිය වීම ගැනත් මම ආඩම්බරයි. ඉතින් මේ දෙකෙන් ඕනම විදිහකට මාව හඳුන්වලා දෙන්න පුළුවන්.

යොහානි සංගීතයට ලැදි වෙන්නේ පොඩි කාලෙදිමද?
මගේ අම්මා මට පුංචි කාලෙදිම පියානෝ එක ගහන්න පුරුදු කළා. ඉතින් ඒ කාලෙදිම මට සංගීතය ගැන ලොකු ඇල්මක් ඇති වුණා. ඊටපස්සේ මම යූටියුබ් වීඩියෝ බල බල තනියම ගිටාර් එක ගහන්නත් ඉගෙනගත්තා. එංගලන්තයේ ඉන්නකොට හිපොප් සහ රැප් සංගීතය ගැනත් මම ටිකක් හොයලා බැලුවා. හැබැයි මුලින්ම සිංදු කියන්න පටන්ගත්තේ නම් කැම්පස් යන කාලෙදියි.

අධ්‍යාපන පසුබිම ගැනත් ටිකක් කතා කරමු?
මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. ඊටපස්සේ උසස් පෙළ හදාරන්න එංගලන්තයට ගියා. උසස් පෙළින් පස්සේ ආයෙත් ලංකාවට ඇවිල්ලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන පස්සේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ගිණුම්කරණයෙන් පශ්චාත් උපාධිය කළා.

විදේශගතවෙලා ඉන්න කාලෙදි ජීවිතේට ලැබුණු විශේෂ අත්දැකීම් ඇති?
ඇත්තටම එහෙදි මට විවිධ සංස්කෘතීන්වල, විවිධ ජාතීන්වල මිනිසුන් මුණගැසුණා. ඉතින් ඒ අත්දැකීම මට විශේෂයි. මම විදේශගතවෙලා ඉද්දි ලැබුව අත්දැකීම් ගොඩක් මගේ ‘ආයේ’ කියන ගීතයේ අන්තර්ගතයි. මම ලැබුව අත්දැකීම් කියනවට වඩා ඒවා ගීත හරහා එළියට දෙන්න තමයි මම කැමතියි.

විදේශගතවෙලා ඉන්න කාලෙදි රැකියාවක් කළේ නැද්ද?
සංගීතය පැත්තෙන් නම් පොඩි පොඩි දේවල් ටිකක් කළා. හැබැයි එහෙදි මම වැඩි අවධානයක් යොමු කළේ අධ්‍යාපනයට. ඒ නිසා රැකියාවකට වෙන් කරන්න තරම් ලොකු කාලයක් තිබුණෙත් නැහැ.

පශ්චාත් උපාධියට ගිණුම්කරණය හදාරන යොහානිට එකපාරම සංගීතයට මාරු වෙන්න හිතෙන්නේ කොහොමද?
මම අලුත් අත්දැකීම් ලබාගන්න කැමති කෙනෙක්. ඉතින් මට සතුටු වෙන්න පුළුවන් කියලා හිතෙන දේ මම කරනවා. ඇත්තටම ගිණුම්කරණයටත් මම ගොඩක් කැමතියි. හැබැයි සංගීතයට මම ඊටත් වඩා කැමතියි කියලා ටික කාලයක් යනකොට මට තේරුණා. ඉතින් ඒ නිසා මම මගේ පාර වෙනස් කරලා බැලුවා.

යොහානිගේ ඒ තීරණයට ගෙදරින් ලැබු‍ණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
සංගීතය කරන්න ඕනේ නිසා හැමදේම අතඇරලා දාලා ලංකාවට එනවා කිව්වම අම්මයි, තාත්තයි දෙන්නම ටිකක් කලබල වුණා. හැබැයි මේක මම කැමති දේ කියලා පස්සේ එයාලා තේරුම් ගත්තා. මම මේ ආව ගමන ගැන අද එයාලා සතුටු වෙනවා. මේ දවස්වල එළියට යන්න බැරි නිසා මම ගෙදරම කාමරයක් පොඩි ස්ටූඩියෝ එකක් විදිහට හදාගත්තා. ඉතින් අම්මයි, තාත්තයි, නංගියි තමයි මට ඒ හැම වැඩකටම උදව් කරන්නේ.

තාත්තා දීලා තියෙන හොඳම උපදේශය මොකක්ද?
මගේ තාත්තා අපිට ජීවිතේ කියලා දුන්නේ අවවාද, උපදේශවලින් නම් නෙමෙයි. ඔහු හැමදේම ක්‍රියාවෙන් උගන්වන කෙනෙක්. ‘අධිෂ්ඨානයෙන් අරමුණ කරා’ කියන එක තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ තේමා පාඨය. යුද හමුදාවේ විතරක් නෙමෙයි මගේ තාත්තගේ ජීවිතේ තේමා පාඨයත් ඒකයි. ඒක පුංචි කාලෙදිම මගේ හිතටත් දැනුණ නිසා ඒක මම මගේ ජීවිතේටත් ආදේශ කරගත්තා. ඒක තමයි තාත්තගෙන් මට ලැබුණ හොඳම දේ.

ජනප්‍රියත්වයත් එක්ක යොහානි සයිබර්බුලින්ග්වලට සහ විවිධ විවේචනවලට ලක්වෙනවා. මේ වගේ තැන්වලදි මනසට පීඩනයක් ඇති වුණේ නැද්ද?
මුල්ම කාලෙ නම් මම ඔය කියන දේවල් නිසා ගොඩක් දුක් වුණා. හැබැයි පස්සේ ඒවා අමතක කරලා ඉස්සරහට යන්නත් මම ඉගෙනගත්තා. අනිත් අයගේ විවේචන ගැන හිත හිත දුක්වෙන්න යොදවන කාලය අරමුණු ජයගන්න යොදවන එක හොඳයි කියලා මට හිතුණා.

සංගීත ක්ෂේත්‍රයේ ඔබ කැමතිම චරිතය කවුද?
සංගීත ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ම වගේ මම කැමතියි. හැබැයි රිහානටයි, බිලී අයිලිෂ්ටයි විශේෂ කැමැත්තක් තියෙනවා කිව්වොත් හරි.

යොහානි තමන්ගේ සීමාවල් විදිහට තියාගෙන ඉන්නේ මොනවද?
ඇත්තටම මගේ ජීවිතේට කිසිම සීමාවක් නැහැ. මම කැමති විදිහට ජීවත් වෙන්න තමයි මම කැමති.

සංගීතයට අමතරව කරන දේවල් මොනවද?
මම පොඩි කාලෙ ඉඳලම ක්‍රීඩාවලට කැමති කෙනෙක්. ගැඹුරු මුහුදේ පීනන්න, අශ්වයෝ පදින්න, කඳු නගින්න එහෙම මම හරි ආසයි. ඒ වගේ දේවල්වලින් හිතට ලොකු සතුටක්, සැනසීමක් ලැබෙනවා. ඒ වගේම රංගනයටත් මට පොඩි අවස්ථාවක් ලැබුණා. ගායනය වගේම රංගනය කියන්නෙත් අපේ හැඟීම් ලෝකයට පෙන්වන්න පුළුවන් ලස්සන කලාවක්නේ. ඉතින් සමහරවිට ඉදිරියේදී මාව නිළියක් විදිහටත් දැකගන්න ලැබේවි.

මේ වෙනකොට අනාගතය සැලසුම් කරලා ඉවරද?
ජීවිතේ ගැන නම් මට ලොකු අනාගත සැලසුම් නැහැ. හැබැයි ඉතින් ගීත ඇල්බම් ගැන නම් ලොකුවට සැලසුම් කරනවා. මගේම සිංදු 12ක් ඇතුළත් ඇල්බම් එකක් එළියට එන්න තියෙනවා. ඒක තමයි මේ දවස්වල දකින ලොකුම හීනේ.

අවසාන වශයෙන් අපේ රටේ තරුණ ගැහැනු ළමයින්ට දෙන්න කැමති පණිවිඩය මොකක්ද?
කිසිම වෙලාවක අනිත් අය කියන දේවල් අහලා ජීවිතේ එක තැනක නතර කරගන්න එපා. හැමවෙලාවෙම විචාර බුද්ධියෙන් හිතලා බලලා තමන්ට හරි කියලා හිතෙන දේ හරියටම කරන්න කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩය.

සටහන – සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායා – ක්‍රිෂාන් කාරියවසම්