Top Story

විශේෂ පුහුණුවකට රට යන අය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පීඨාධිපතිවරුන් සහ උප පීඨාධිපතිවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ උප පීඨාධිපතිවරුන් පිරිසක් ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් හෙට(20) සිට සතියක කාලයක් පුරා චීනයේ පැවැත්වෙන විශේෂ පුහුණු වැඩසටහනකට සම්බන්ධ කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මීට අදාළ ගුවන් ටිකට්පත් ප්‍රදානය අද (19) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණි.

25 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඒ අනුව හෙට චීනය බලා පිටත්වීමට නියමිතයි.

මීට සමගාමීව පාසල් පද්ධතිය වඩාත් සාර්ථක ව, සඵලදායී ලෙස හා කාර්යක්ෂ ම ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිපාලන හා කළමනාකරණ හැකියාවන් සහ නායකත්ව කුසලතා සංවර්ධනය ඉලක්ක කරගත් ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම වෙනුවෙන් ද මෑතකාලීන ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව සුවිශේෂ අවධානය යොමු කෙරුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, විදුහල්පතිවරුන් විශාල පිරිසක් වෙත මේ වනවිටත් විදේශ පුහුණු අවස්ථා ලබාදී ඇති අතර, තවත් විදුහල්පතිවරුන් 40කගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ධාරිතා සංවර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වීමට ඔක්තෝබර් 21 දින මැලේසියාව බලා පිටත්වීමට නියමිතයි.

ඔවුන් සඳහා ගුවන් ටිකට් පත් ප්‍රදානය ද අද අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.