වෙළෙඳ භාණ්ඩ වල ප්රමිතිය වෙබ් අඩවියෙන් දැනගන්න
වෙළෙඳපොළේ අලෙවි කරන සෑම භාණ්ඩයකම ගුණාත්මකභාවය සහ ප්රමිතිය පිළිබඳ තොරතුරු මිලදී ගන්නාගේ පහසුව සඳහා පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව උසස් තත්ත්වයේ භාණ්ඩයක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න ‘අරුණට’ ඊයේ (01වැනිදා) පැවැසීය.
භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳ පාරිභෝගිකයාට දැන ගැනීමේ ක්රමවේදයක් දැනට නොමැති බව කී ඇමැතිවරයා ඒ සඳහා පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවිය භාවිත කිරීමට තීරණය කළ බව කීවේය.
පාරිභෝගික අධිකාරිය වැටලීම් කරන ආයතනයක් පමණක් නොවන බව කී හෙතෙම ප්රමිති සහතිකය සහිත භාණ්ඩ මොනවාද යන්න පිළිබඳ මෙම වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයා දැනුවත් කෙරෙන බවද කීය.
වෙබ් අඩවියේ සඳහන් භාණ්ඩ වෙළෙඳපොළේ නොමැති අවස්ථාවල ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියට මෙම වෙබ් අඩවිය මගින්ම පැමිණිලි කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බවද රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න වැඩිදුරටත් පැවැසුවේය.
බාධක ඇතත් සමුපකාර සමිති අනිවාර්යයෙන් ලාබ ලබන තත්ත්වයට ගෙන එන බවත් ඒ සඳහා අලුත් වැඩපිළිවෙළ ගණනාවක් ක්රියාවට නංවන්න සැලසුම් කර තිබෙන බවත් ඒ අතර පාරිභෝගිකයා මිල මට්ටමින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් රාජ්ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අජිත් අලහකෝන්
