News

ශ්‍රී පාදයේ උඩමළුවට එක වරකට 200යි

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණීමේදී,එක් වරකට උඩමළුවේ රැදී සිටීමට හැකි බැතිමතුන් සංඛ්‍යාව 200 කට සීමාකර ඇත.

ශ්‍රී පාද වන්දනා සමය මෙමස 29 වැනිදාට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ඇරැඹෙන බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පැවැසීය.

පැල්මඩුල්ල,ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව රැගත් රිය පෙරහැර මෙමස 28 වැනිදා පෙරවරුවේදී ශ්‍රී පලාබද්දල මාර්ගය,හැටන් නල්ලතන්නිය මාර්ගය,බලංගොඩ මාර්ගය,කුරුවිට මාර්ගය ඔස්සේ වැඩම කර උඳුවප් පොහොය දිනයේදී ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කිරීමට නියමිතය.

ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමේ කටයුතු මෙවර රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ලියාපදිංචි වියයුතු අතර,තමන් නිරෝධායනයට ලක් නොවූ අයෙකු බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් ලිපියක් රැගෙන ඒමද අනිවාර්ය වේ.

ශ්‍රීපාදස්ථානයට පිවිසෙන සියලුම මාර්ග ආවරණය වන පරිදි පැය 24 පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් කමිටුව මීට ඉහතදී මහජනතාවට දැනුම්දී තිබුණි.