News

ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ ඉහළම තැන

ගේල් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලවල පර්‌යේෂකයන් විසින් මෑතකදී නිකුත් කරන ලද 2020 පාරිසරික කාර්ය සාධන දර්ශකයට (EPI) අනුව ශ්‍රී ලංකාවේ ගුණාත්මකභාවය දකුණු ආසියානු කලාපයේ රටවල් අතුරින් ඉහළම අගයක් ලබාගෙන ඇත.

මෙම EPI දර්ශකය පසුගිය වසර 22ක කාලයේ ගෝලීය පාරිසරික ප්‍රතිපත්ති විශ්ලේෂණය සඳහා ප්‍රමුඛතම මිනුම් දණ්ඩක් බවට පත්ව ඇති අතර රටවල් 180ක පාරිසරික දත්ත ලබාගනිමින් එම රටවල් ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ලබා සිටියද රටවල් 180 අතුරින් ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 109 වැනි ස්ථානයේය. ඒ ලකුණු 100න් 39ක් ලබාගනිමිනි. මෙම වාර්තාවේ වායු ගුණාත්මකභාවය පිළිබඳ ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව 91 වැනි ස්ථානයට පත්ව ඇති අතර කලාපය හා සසඳන විට ශ්‍රී ලංකාව පසුගිය වසර 10යේදී අඛණ්ඩව වායු ගුණාත්මභාවය අතින් ධනාත්මක වර්ධනයක් ලබා ඇත.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වායු ගුණාත්මකභාවයෙන් පසුගාමී වන අතර බංග්ලාදේශය 166 වැනි ස්ථානයද, ඉන්දියාව 179 වැනි ස්ථානයේද පාකිස්තානය 180 වැනි ස්ථානයේද රැඳී සිටී.

EPI දර්ශකය ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය ඉහළ යෑමට රටේ ක්‍රියාත්මක ‘වාහන වායු විමෝචනය පරීක්ෂා කරන වැඩසටහන් හේතු විය හැක. වාතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව 2008 වර්ෂයේදී මෙරට වාහනවල වායු විමෝචනය පරීක්ෂා කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි.

නයන තරංග ගමගේ