නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ටෙලිකොම් අයිතිය මැලේසියාවට ? – වෘත්තීය සමිති බිය පළ කරති

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 49.5ක කොටස් වලින් සියයට 4.74ක් කොටස් වෙළඳපොළේ විකිණීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බව ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම කොටස්වල කොටස් වෙළඳ පොළ නාමික අගය‘ මෙතෙක් තීරණය කර නැති අතර එම අගය තීරණය කර ගැනීමෙන් අනතුරුව කොටස් නිකුත් කිරීමට සූදානම් බව වාර්තා වේ.

2014 වසර වන විට ඉපයූ බිලියන 3ක ලාභය පසුගිය වසර කිහිපය පුරාවට අඩු වීම හේතුවෙන් ආයතනය මූල්‍ය අර්බුදයකට ලක්වීම වළක්වා ගැනීමට සහ මැලේසියානු සමාගම් දෙකකට ටෙලිකොම් අයිතිය ලබා ගැනීම සඳහා රජයේ සහයෝගය ලබා දීමේ කුඨ උපක්‍රමයක් ලෙස මෙම කොටස් විකිණීමට සූදානම් වන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පී . එස්. බී ජයසුන්දර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් රජය ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණයට ලක් කරමින් රජයේ දේපළ පෞද්ගලික සමාගමකට සින්න වීමට ඉඩදී ඇති බව සඳහන් කළේය. ටෙලිකොම්හි බලය රජයට අහිමි වීම නිසා රටක් ලෙස බරපතළ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත් ආයතනයේ 7000කට ආසන්න සේවකයන්ගේ රැකියා අනතුරට ලක්වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

ටෙලිකොම්හි බලය හිමි දෙවන පාර්ශ්වය වන මැලේසියානු (GTH ග්ලෝබල් ටෙලිකොමියුනිකේෂන් හෝල්ඩිංග්ස් ) සමාගමට ආයතනයේ සියයට 44.98ක හිමිකාරිත්වයක් පවතී. කොටස් නිකුත් කිරීමත් සමග ටෙලිකොම් පාලන බලය හිමිකර ගැනීම සඳහා මැලේසියානු සමාගම එම කොටස් මිලදී ගැනීමට සූදානමක් පවතින බවත් එසේ වුවහොත් එම සමාගමට අයත් කොටස් වල වටිනාකම 50% ආසන්න වෙයි. ‘ රජය” ටෙලිකොම්හි පාලන බලය පවත්වාගෙන යාමට අවශ්‍ය සියයට 51ක කොටස් අයිතිය තමන් සතු කරගන්නේ ලංකා බැංකුවට හිමි ටෙලිකොම් කොටස් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට හිමි කොටස් ද එකතු කර ගනිමිනි. මැලේසියානු සමාගම ටෙලිකොම් කොටස් 4.74%ක ප්‍රමාණය මිලට ගතහොත් එම ආයතනයේ කොටස් ප්‍රමාණය 49.72% දක්වා ඉහළ යයි. ලංකා බැංකුවේ සහ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදලේ කොටස් හැර දැනට රජය සතු 49.5%ක කොටස් ප්‍රමාණයෙන් 4.74% ඉවත් වූ විට රජයේ කොටස් ප්‍රමාණය 44.74%ක් දක්වා පහළ යයි. මේ නිසා අධ්‍යක්ෂ මණ්ඩලය තුල රජයේ පාර්ශවයට හිමි බලය හීන වන බව ලේකම්වරයා පෙන්වා දෙයි.

ටෙලිකොම් ආධිපත්‍යය තමන්ට නතු කර ගතහොත් මැලේසියානු GTH පෞද්ගලික සමාගමට සහ මෙරට ක්‍රියාත්මක තවත් ප්‍රධාන පෙළේ මැලේසියානු සන්නිවේදන ආයතනයකට මේ වනවිට සන්නිවේදන ක්ෂේත්‍රයේ ඔවුන්ට බලපෑම් කළ නොහැකිව පවතින සීමාවන් ඉක්මවා යාමේ හැකියාව ලැබේ.’ ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ තවමත් ටෙලිකොම් ආයතනය සතුව පවතින දත්ත සන්නිවේදනයේ ඒකාධිකාරය තමන් වෙත පවරා ගැනීම බව ද ලේකම් වරයා පැවසිය.