සංචාරක ව්‍යාපාරයට යූරෝ මිලියන 4.9ක්
කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන හතරයි දශම නවයක ප්‍රදානයක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබ් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගට සහතික විය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබ් සහ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග අතර පෙරේදා (7 වැනිදා) සංචාරක අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණි.
තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා ප්‍රධාන ක්ෂේත්‍ර 07ක් සඳහා මෙම ප්රදානය ලබාදීමට අපේක්ෂා කරන බවයි. සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක ක්ෂේත්රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම, ක්ෂේත්රයේ නියුතුවූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්රදානය හිමිවීමට නියමිතය.
ඒ අනුව සංචාරක ක්ෂේත්රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන හෝටල් 54ක් සඳහා ආධාර ලබාදීමට නියමිතය. ලෝක කම්කරු සංවිධානය සමග ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂක ව්‍යාපෘතිය සඳහා යූරෝ ලක්ෂ 2ක් ලබාදීමට තීරණය කර තිබේ. මධ්‍යම හා ඌව පළාත් කේන්ද්‍ර කර ගත් ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය උදෙසා යූරෝ මිලියනයක් වෙන් කිරීමට කටයුතු යොදා ඇත.
