සුව දිවිය

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා

ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය
I.L. ජයවීර
MBBS. PG Diploma
MD (Venereology)
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන
——————————–
වේදනාකාරී සංසර්ගය හෙවත් Dyspareunia හේතුවෙන් කායිකව සහ මානසිකව පීඩාවට පත්වන කාන්තාවන් බහුලය. පවුල් ජීවිත අවුල් කරන Vaginismus (සංසර්ග භීතිකාව) පවා Dyspareunia යටතට වැටෙනා රෝග තත්ත්වයක්ය. ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය I.L. ජයවීර මහතා අද කතාබහ කරන්නේ මෙම රෝගාබාධයට හේතු, එය වළක්වාගැනීමේ වැදගත්කම සහ ප්‍රතිකාර විදි පිළිබඳවය.

සංසර්ග වේදනා හටගන්නේ ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවලද?

නැහැ. සංසර්ග වේදනා සංසර්ගයට පෙර, සංසර්ගය අතර එහෙමත් නැතිනම් සංසර්ගයෙන් පසුත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේවා දීර්ඝ කාලයක් පවතින එහෙමත් නැතිනම් නැවත නැවත ඇතිවන වේදනාවන් වෙන්නත් ඉඩ තිබෙනවා.

කාන්තාවකට මේ වේදනාව දැනෙන්නේ කොයි විදියටද?

ආකාර දෙකකට මේ වේදනාවන් දැනෙන්න පුළුවන්. එකක් තමයි ඇතුළු කිරීමේදී ඇතිවන වේදනාව. උදාහරණයක් විදිහට යෝනි මාර්ගයට බාහිරින් යමක් ඒ කියන්නේ පුරුෂ ලිංගය, එහෙමත් නැතිනම් අභ්‍යන්තර ස්කෑන් පරීක්ෂණ උපකරණයක් වගේ දෙයක් ඇතුළු කිරීමේදී දැවිල්ලක් වගේ වේදනාවක් නැතිනම් තියුණු යමකින් අනිනවා වගේ වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒ වේදනාව ලිංගික සබඳතාවයෙන් පැය ගණනාවකට පසු වුණත් පවතින්න ඉඩ තිබෙනවා. අනිත් එක තමයි ගැඹුරු වේදනාව. ඒක යටි බඩ අභ්‍යන්තරයේ ඉඳලම ලිංගික ප්‍රදේශය පුරා පැතිරෙන වේදනාවක්.

ඔය කිව්ව පළවෙනි එක, ඒ කියන්නේ ඇතුළු කිරීමේ වේදනාව ඇතිවෙන්න හේතු මොනවාද?

ඒකට හේතු කීපයක්ම බලපානවා. අපි හිතමු එක්තරා පුරුෂයෙක් ලිංගික සහකාරියගේ ලිංගික හැඟීම් උද්දීපනය නොකර, ඒ කියන්නේ පෙර ආලිංගනයක් (Forplay) නොකර ලිංගික සංසර්ගයේ යෙදෙන්නට උත්සාහ කරනවා කියලා. ලිංගික උද්දීපනයක් සිදුනොවන විටදී කාන්තාවකට යෝනි ස්‍රාවයන් ස්‍රාවය වෙන්නේ නැහැ. එවිට යෝනි මාර්ගයේ ලිහිසි ස්වභාවයක් නොමැති නිසා ශිෂ්ණය ඇතුළු කිරීමේදී කාන්තාවට වේදනාවක් ඇති වෙනවා.

ඒ වගේම ආර්ථවහරණය නිසා ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම වූ කාන්තාවකට, දරු ප්‍රසූතියක් සිදුකළ හෝ කිරිදෙන මවකට මේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පීනස් තත්ත්වයට, අධිරුධිර පීඩනයට සහ උපත් පාලනයට ගන්නා ඖෂධ නිසාත් යෝනි මාර්ගයේ වියළි බවක් ඇතිවීම නිසා මේ ඇතුළු කිරීමේ වේදනාව එන්න පුළුවන්.

ලිංගාශ්‍රිතව ඇතිවුණ හදිසි අනතුරු, සැත්කම්, දරු ප්‍රසූතියේදී සිදුකළ සැත්කම් විතරක් නෙවෙයි ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ ආසාත්මිකතා, ආසාදන සහ සමේ රෝග වැනි දේවලුත් ඇතුළු කිරීමේ වේදනාව ඇතිවෙන්න බලපාන අවස්ථා තියෙනවා.
මානසිකව බලපාන යම් යම් තත්ත්වයන් නිසාත් ඇතුළු කිරීමේ වේදනාවක් දැනෙන්න ඉඩ තිබෙනවා. ඒ තත්ත්වය තමයි අපි Vaginismus (සංසර්ග භීතිකාව) කියලා හඳුන්වන්නේ.

එතකොට ගැඹුරු වේදනාව ඇතිවෙන්න බලපාන හේතු මොනවාද?

ඒකට ශ්‍රෝණි ප්‍රදේශයේ ඇතිවෙන රෝග තත්ත්වයන් බලාපන්න පුළුවන්. ගර්භාෂ ගෙඩි, ශ්‍රෝණි ආසාධන, එන්ඩොමෙට්‍රියෝසිස් එවැනි රෝග කිහිපයක්. ඒ වගේම කලකට පෙර ශ්‍රෝණි ප්‍රදේශයේ සිදුකළ සැත්කම් නිසා ඇතිවෙන සංකූලතා නිසාත්, පිළිකාවලට සිදුකරන රේඩියෝතෙරපි නිසාත් යටිබඩේ තද වේදනා එන්න පුළුවන්.

අර කලින් සඳහන් කළ Vaginismus ගැන තවදුරටත් පැහැදිලි කළොත්?

Vaginismus කියන තත්ත්වය ලංකාවේ කාන්තාවන් 7%කට වගේ ප්‍රමාණයකට තියෙන්න පුළුවන් කියලා යම් යම් සමීක්ෂණවලින් ගණන් බලා තියෙනවා.

මෙතැනදී වෙන්නේ යෝනි මාර්ගයට බාහිරින් යමක් ඇතුළු කිරීමට උත්සාහ කරනකොට කාන්තාවගේ පාලනයෙන් හෝ අනුදැනුමකින් තොරව යෝනි මාර්ගය එක්ක සම්බන්ධ වෙලා තියෙන ශ්‍රෝණි ආශ්‍රිත මාංශ පේෂීන් හැකිළෙන එකයි. මේ හැකිළීම සිද්ධවෙන්නේ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහටයි. අපේ තරුණ යුවතියන් අතර පළමු ලිංගික එක්වීම ඉතා වේදනාකාරී කියලා මතයක් තියෙනවා. ඒ නිසා ඔවුන් පළමු සංසර්ගයට මුහුණ දෙන්න අනවශ්‍ය භීතියක් දක්වනවා. ඒ භීතිය නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම යුවළක් අතර මනා සබඳතාවයක් නොමැති නම් ඒ කාන්තාව ලිංගික සබඳතාවයකට කැමැත්තක් දක්වන්නේ නැහැ. එයත් මේ Vaginismus තත්ත්වයට හේතු වෙනවා.

ඒ වගේම මානසික ආතතිය, ලිංගික අපයෝජනයන්ට ලක්ව තිබීම, තමාගේ ශරීරය පිළිබඳව ඇති හීනමානය, ගර්භණී වීමට ඇති බය වගේ ගැටළුත් මෙවැනි තත්ත්වකට හේතු වෙනවා.

කලවා බන්ධනය කියන්නෙත් ඕකට නේද?

ඔව්. සමහරු කියනවා මේක ලිංගිකව එකතු වෙන්න බැරි විදිහට කරපු බන්ධනයක් කියලා. ඒ වගේ දේවල් නිසා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවී වෙනත් ක්‍රමවලින් සුවපත් වෙන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. නමුත් මේවා මිත්‍යා විශ්වාස පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.

Dyspareunia වලට ප්‍රතිකාර නොකර හිටියොත් මොකද වෙන්නේ?

මේ වගේ ලිංගාශ්‍රිත රෝගවලට දිගින් දිගටම ප්‍රතිකාර නොකළොත් සංකීර්ණ පවුල් අරවුල් පවා ඇතිවෙන්න පුළුවන්. බොහෝදෙනා ප්‍රතිකාර වෙත පැමිණෙන්නේ පවුල දෙදරායාමට ඉතා ආසන්න අවස්ථාවේදීයි. සමහර ස්වාමි පුරුෂයින් ඉන්නවා ඔවුන් බිරිඳට වේදනාවක් දැනෙයි කියලා ඇති භීතියට ලිංගිකව එක්වෙන්න උත්සාහ කරන්නේ නැහැ. විවාහ වී අවුරුදු ගණනාවක් ගතවී තිබුණත් ලිංගිකව එක් වී නැති එවැනි අඹු-සැමියන් අපට හමුවෙනවා. ඇතැම් සැමියන් මම කලින් කියපු භීතිය නිසාම ලිංගික අකර්මණ්‍යතාවයකට පවා පත්වෙලා තිබෙනවා.

මේ වේදනාවන් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිද?

ඔව්. සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න පුළුවන්. සංසර්ගයේදී වේදනාවක් දැනෙනවා නම් ඒක කාලයත් එක්ක මගහැරෙයි කියලා හිතලා බලාගෙන ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක්ට පෙන්විය යුතුමයි. එතැනදී වෛද්‍යවරයා කාන්තාවගේ සායනික ඉතිහාසය, ලිංගික සහකරුගේ සහ ඔවුන්ගේ සබඳතාවයේ ස්වභාවය වැනි කරුණු සොයා බලනවා. පසුව යෝනි මාර්ගය සහ ශ්‍රෝණි ප්‍රදේශය කායික පරීක්ෂාවකට ලක් කරනවා. අවශ්‍ය නම් තවත් පරීක්ෂණ කිහිපයකට යොමු කර රෝගය නිගමනය කරලා නියමිත ප්‍රතිකාර වෙත යොමු කරනවා.
රෝගයට හේතුව හෝර්මෝන අවම වීමක්, ආසාත්මිකතාවයක් හෝ ආසාධන තත්ත්වයක් නම් ඒවාට නියමිත ඖෂධ ලබාදී වේදනාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්. එහෙම නැතුව ශරීර අභ්‍යන්තර ගැටළුවක් නම් ඒ අදාළ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්නත් පුළුවන්.
වේදනාව ඇතිවෙන්නේ Vaginismus නිසා නම් ශ්‍රෝණි ප්‍රදේශයේ මාංශ පේෂීන් සහ මනස සන්සුන් කිරීමට ලිහිල් කිරීමේ ක්‍රමවේද (Relaxation Methods) භාවිතා කරනවා. ඒ වගේම අවශ්‍යතාවය අනුව යුවළ උපදේශන සේවා, යුවළ චිකිත්සක, මනෝ විද්‍යාත්මක ලිංගික උපදේශන සිදු කරනවා. බොහෝවිට Vaginal Dilator එකක් යෝනි මාර්ගයට ඇතුළු කරලත් මේ තත්ත්වය සුව කරන්න පුළුවන්.

Dyspareunia තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට යාමේදී අවධානය යොමු කළ යුතු විශේෂ කාරණා තිබෙනවද?
ඔව්. මෙතැනදි කිව යුතු වැදගත්ම කාරණාව තමයි මෙවැනි වේදනාවක් දැනෙනවා නම් ලිංගාශ්‍රිත රෝග පිළිබඳව වෛද්‍යවරයෙකු හෝ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වෙතම යොමු වෙන්න කියන එක. බොහෝදෙනා හිතන්නේ මේ වේදනාවන් ඇතිවෙන්නේ මානසික ගැටළු නිසා පමණයි කියලා. නමුත් මානසික ගැටළුවලට ප්‍රතිකාර කිරීමට පෙර මේ තත්ත්වය ඇති වන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති රෝග තත්ත්වයක් නිසාදැයි සොයා බැලීම වැදගත්.

ඔබගේ ලිංගික ගැටළු වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නම, දුරකතන අංකය සහිතව ගැටළුව dharanee.editor@liberty.lk ඊමේල් ලිපිනයට එවන්න.

සටහන – සෙව්වන්දි හෙට්ටිආරච්චි