සංසාරෙන් එගොඩවන්න පාරමී පුරන නන්දකුමාර සහ ශාන්ති
කොවිඩ් වසංගතය හේතුවෙන් ගමේ විහාරස්ථානයේ පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට එම අවස්ථාව මගහැරී ගියේය. බොහෝ දෙනෙක් පෙහෙවස් සමාදන් වීම තම නිවසේ සිටම කිරීමට හුරු වූයේ ඒ නිසාවෙනි. රූපවාහිනියේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා අසමින්, භාවනා කරමින් උපාසක උපාසිකාවෝ පොහෝදින නිවසේම ගත කළහ.
මුල්ලේරියාව හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ආගමික වැඩසටහන්වලට නිතිපතා සහභාගි වූ පින්වතුන්ට නොකඩවා ආගමික වතාවත්වල යෙදෙන්නට අවස්ථාව ලබාදීමට සුසිල්වත් යුවළක් ඉදිරිපත්ව සිටිති.
මුල්ලේරියාව මූලික රෝහලේ වාට්ටු භාර හෙද නිලධාරී ලෙස සේවය කරන නන්ද කුමාර සහ අයි.ඩී.එච්. රෝහලේ වාට්ටු භාර හෙද නිලධාරිනී ශාන්ති තෙන්නකෝන් මෙම අඹුසැමි යුවළය.
ඉකුත් ඇසළ පොහෝය දිනයේ ඔවුන් දෙදෙනා තම නිවස සිල් සුවඳ හමන පන්සලක් බවට පත්කොට පන්සල් බිම අහිමි වූ පිරිසට පෙහෙවස් සමාදන් වීම සඳහා අවස්ථාව සලසා දුනි.
නන්දකුමාර සහ ශාන්ති මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.
අපි හේනවත්ත විහාරස්ථානයේ දායකයන් දිනපතා සවසට පන්සලේ පැවැත්වෙන බුද්ධ පූජා ගිලන් පස පූජාවලට සහභාගි වෙනවා අපේ පුතුන් දෙදෙනාත් එක්ක පෝයට සිල් සමාදන් වෙනවා.
ෙකාවිඩ් අවදානම නිසා එම අවස්ථාව අපට වගේම පන්සලට ආපු අනෙක් පිරිසටත් අහිමිව ගියා. ඉන්පසුව පොහෝ දිනවල අපි නිවසේ සිල් සමාදන් වුණා. ඒත් අපිට ප්‍රශ්නයක් වුණේ නෑ. අනෙක් අය කොහොමද සිල් සමාදන් වෙන්නේ කියලා.
පන්සලේ නායක හාමුදුරුවන්ගේ අවසර ලබාගෙන අපි පහුගිය ඇසළ පොහොය දිනයේ දහ දෙනෙකුට අපේ නිවසේ සිල් සමාදන් වෙන්න අවස්ථාව සලසා දුන්නා. ඒ අයට අපි උදේ සහ දහවල් දානයත් පිළියෙල කර දුන්නා. ඒකෙන් අපිට පුදුමාකාර ආධ්‍යාත්මික සතුටත් ලැබුණා.
අපි මෙම නිකිණි පෝයදා 25 දෙනෙකුට එම අවස්ථාව ලබාදුන්නා. උදෑසන හාමුදුරු නමක් වඩමවා පිරිස සිල් සමාදන් කරවානම් පිරිසට හීල් දානය පිළිගන්වනවා. උදයවරුවේ හාමුදුරු නමක් වැඩමවා ධර්ම දේශනා භාවනා වැඩසටහන් කරනවා. දහවල් දානය අපිම සකස් කරලා පිළිගන්වනවා.
දහවල් නැවත හාමුදුරුනමක් වැඩම කර ධර්ම දේශනාවක් සිදුකරනවා. ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවක්. සවස ගිලන්පස පිළිගැන්වීමෙන් අනතුරුව හාමුදුරු නමක් වැඩම කර සිල් පවාරණ කරනවා.
මේ සියලු දේ අප නිවසේ තුන්වන මහලේ විශාල ශාලාවේ සිදුකෙරෙන්නේ.
අපි පවුලේ සියලු දෙනාම මුලින් සිල් සමාදන් වුණත් දැන් පිරිසට දානමාන සකස් කිරීම, සංවිධාන කටයුතු කිරීම නිසා ඒ අවස්ථාව මග හැරෙනවා. ඒත් කනගාටුවක් නැහැ. ඊටත් වඩා ලොකු සතුටක් ආධ්‍යාත්මික සුවයක් ජීවිතයට එක් කර ගන්නවා අනුන්ට උපකාර කිරීමෙන්. අනුර ශාන්ති දෙපළගේ නිවසේ උඩු මහල පෝයදාට පන්සලේ ධර්මශාලාවට නොදෙවෙනිය. සිල් සමාදන්වීමට නොහැකි වූවද ඔවුහු පිරිස සමග බණ දේශනා, පිරිත්, ධර්ම සාකච්ඡා ආදියට සහභාගි වෙති.
කොරෝනා සහ ඩෙංගු රෝගීන්ට පිහිටවීම සඳහා විශාල සේවයක් රෝහල් දෙකක සිට සිදුකරන මෙම කරුණාවන්ත සුව සේවා නිලධාරීන් දෙපළගේ මෙම සද්කාර්යයන් සඳහා අසල් වැසියන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහයකි.
සිරිසේන ගමගේ – කොළොන්නාව
