සතොසේ ලක්ෂ 49ක භාණ්ඩ වෙනත් තැනකට අලෙවි කරලා
බූස්ස පිහිටි ස.තො.ස තොග ගබඩාවෙන් හෝමාගම ප්‍රදේශයේ ස.තො.ස ශාඛා දෙකකට ගෙන යන ලද රුපියල් හතළිස් නම ලක්ෂ දාහත් දහසක භාණ්ඩ එම ශාඛා දෙකට නොදී හිස් ලොරි රථය කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දමා රියැදුරු සහ සහායකයා පලාගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි රත්ගම පොලිසිය පැවසීය. බූස්ස ගබඩාවේ සිට භාණ්ඩ තොගය පටවාගෙන SPLI 5910 දරන ලොරි රථය 12 වැනිදා පස්වරු 6.30ට පමණ පිටත්ව ගොස් ඇත. එම භාණ්ඩ ස.තො.ස. වෙළෙඳසල් දෙකට භාර නොදී ලොරි රථය ඔරුගොඩවත්ත ස.තො.ස. ප්‍රධාන ගබඩාව අසල දමාගොස් තිබිියදී (13 වැනිදා) රාත්‍රියේ සොයාගෙන ඇත. රත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ලොරිය ගෙනැවිත් ඇති අතර රියැදුරුගේ හා සහායකයාගේ දුරකථනද ක්‍රියා විරහිතවී ඇති බව පොලිසිය කීවේය. රියැදුරු ශ්‍රාවස්තිපුර වදගම කුමාර විදුහල අසල පදිංචිකරුවකු වන අතර සහායක නුගේගොඩ ගංගොඩවිල කැස්බෑව පාරේ පදිංචිකරුවෙකි. භාණ්ඩ තොගය වෙනත් ස්ථානයකට අලෙවිකර මෙම දෙදෙනා පලාගොස් ඇති බවට සැකකරන බව පොලිසිය කීවේය.
ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල
