සාමයේ හා ප්‍රේමයේ සුබාරංචිය ලොව පැතිරේවා
ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත හා බැඳුණු පාස්කුවට පමණක් දෙවැනි උතුම් ආගමික මංගල්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් පවසයි.
එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය සහකම්පනය බඳු විශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එම නිවේදනයේ ඔහු මෙසේ සඳහන් කරයි.
‘සමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්රමෝදජනක අවස්ථාවක්ද වන්නේය.
ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ්කොට ගනී. පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්රමුඛ වේ. කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.
මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක කළ ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතුය. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමද එලෙසින්ම සිදුවනු ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ සුබාරංචිය ලොව පැතිරේවා! ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.’
