Uncategorized

සීනි වලින් ලස්සන වෙන්නේ මෙහෙමයි

මේක ඇවිල්ලා ශුගර් එහෙමත් නැත්නම් සීනි ගැන කතාවක්. වැඩිපුර සීනි කෑවොත් දත් පණුවො කනවය කියලා පොඩි උන්ට බොරු දෙසා බාන මමීලා ඩැඩීලාට වගේම ශුගර් ඩැඩීලගෙන් වාසි ගන්න ගෑනු දැරිවියන්ටත් මේ කතාව වැදගත්.

රජ වාසලේ කවටයා වෙච්චි අන්දරේ රජ්ජුරුවන්ගේ සීනි ටික හොරා කාපු හැටි මේ නෝනා මහත්තයලා දැනටමත් අහලා ඇතිනේ. හැබැයි දෙවැනි ලෝක යුද්ධයට පාර කපලා මිලියන ගණනින් මිනිස්සු මරලා දාපු ඒකාධිපති හිට්ලර් උන්නැහේ සීනි කාපු හැටි ඔබ තමුන්නාන්සේලා අහලා නැතුව ඇති. ඔන්න එහෙනම් අපේ මාතෘකාවට එන්න කලින් ඒ කතාවත් ඩිංගිත්තක් අහගන්නකෝ.

අපි කාටහරි තේ එකක් හදලා දෙනකොට අහන්නේ තේ එකට සීනි කොච්චර ඕනැද කියලානේ. හැබැයි මේ උන්දැගෙන් කවුරුහරි එහෙම ඇහුවොත් අහන්න වෙන්නෙ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ සීනිවලට හරි යන්න තේ කොච්චර ඕනද කියලාලු හිට්ලර්ගෙන් අහන්න වෙනවා කියලා කියන්නේ.

හිට්ලර් තේ බොන්න ගියාම මුලින්ම කරන්නේ තේ කෝප්ප ටිකක් අරගෙන ඒවට සීනි කැට (Sugar cube) පුරවන එකලු. ඊටපස්සේ ඒ සීනි කැට වැහෙන්න කෝප්පවලට තේ වත්කරලා ඔලුව පිටුපසට නවල ගුඩුස් ගාලා තේ එක කටට හලාගන්නවලු. එකක් නම් බැරියැ, මේ ඒකාධිපති පාලකයා දවසකට ඒ වගේ තේ කෝප්ප ගණනාවක්ම බොනවලු. ඊට අමතරව එක දවසක් ඇතුළත මේ උන්දා චොකලට් රාත්තල් දෙකකටත් වග කියනවාලු. ඒ වගේම හැමදාම බොන හිට්ලර්ගෙ වයින් වීදුරුවටත් සැලකිය යුතු ප්‍රමාණයකින් සීනි එකතු වුණා කියලයි කියන්නේ.

කොහොමහරි දෙවැනි ලෝක යුද්දේ අවසාන හරියේ හිට්ලර්ට හික් ගෑවෙන්න රතු හමුදාව ප්‍රංශයේ බර්ලින් නුවර යටත් කරගත්තනේ. ඔය වෙද්දී මේ ඒකාධිපතියා හැංගිලා හිටියේ බර්ලින් නුවර භූගත බංකරයක. ඉතින් ඒ වෙනකොට මේ සීනි කෑම නිසා උන්දා වගේම උන්දැගෙ දත් සැට් එකත් මරණාසන්න තත්ත්වෙක තිබුණා කියලා තමයි ආරංචි.

ඒ නිසා හිට්ලර් වගේ සීනි කාල නහින්නේ නැතුව සීනි ගාලා ලස්සන වෙන හැටි තමයි අද අපි කියන්න යන්නේ. ඇත්තම කිව්වොත් හිසේ සිට පාදාන්තය දක්වා රූපලාවණ්‍ය කියුම් කෙරුම් සඳහා අමුද්‍රව්‍යයක් විදියට සීනි යොදාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වැඩේ කරද්දී සමට සත්කාරයක් විදියට මිසක් දිවට සත්කාරයක් විදියට සීනි යොදාගන්නේ නෑ කියලා විනය රීතියක් තම තමන්ලා විසින්ම පනවාගන්න ඕන.

අපි ශරීරයේ තියන මැරුණු සම ඉවත් කරන්න වෙළඳපොළේ තියෙන විවිධ ස්ක්‍රබ් වර්ග පාවිචිචි කරනවනේ. මේ කොයි ස්ක්‍රබ් එකටත් වඩා මැරුණු සම ඉවත් කරන්න පුළුවන් හොඳ ස්වාභාවික සත්කාරයක් තමයි සීනි කියන්නේ. දැන් බලමු කොහොමද සීනිවලින් මේ වැඩේ කරන්නේ කියලා.

ඔබේ තොල් වියළි හෝ පැලුණු ස්වභාවයෙන් යුක්තනම් තොල් මත සීනි ස්වල්පයක් ආලේප කර මෘදුව කවාකාර ලෙස ඇඟිල්ලෙන් පිරිමදින්න. මේ සත්කාරය සතියකට වරක් හෝ දෙවරක් කරන්න පුළුවන් නම් ඔබට වියළි තොල්වලට විසඳුමක් හොයාගන්න පුළුවන්.

කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර ඒකට සීනි අවශ්‍යය ප්‍රමාණයට එක්කර ඔබේ ශරීරයේ සම මත ආලේප කිරීමෙන් මැරුණු සම ඉවත් කිරීමට වගේම මෘදු සමක් ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා.

අව්වෙන් පිළිස්සුණු සමට පැහැපත් පෙනුමක් ලබාගන්න නම් ඔබ සිරුරේ ආලේප කරන ආමන්ඩ් තෙල් හෝ ඔලිව් තෙල් හෝ ඕනම තෙල් වර්ගයකට සීනි ටිකක් එකතු කරන්න පුළුවන්.

ඒ වගේම සමහරුන්ගේ යටිපතුල් ඉතාම රළුයි. මේ රළු බව නැති කරන්න පෙපර්මින්ට් තෙල් ස්වල්පයකට සීනි එක්කර ස්නානය කරන අතරතුර යටිපතුල් ස්ක්‍රබ් කරන්න.

දවස අවසානයේදී වැඩිපුරම කුණු දූවිලි රැඳෙන්න පුළුවන් තැන තමයි ඔබේ දෑත්. ඉතින් මේ කුණු දූවිලි ඉවත්කර දෑත් පහසුවෙන් සහ ඉක්මනින් පිරිසිදු කරගන්න නම් සබන්වලට සීනි ටිකක් එක්කර දෑත්වල ආලේප කර සෝදා හරින්න.

රේසරයකින් රෝම ඉවත් කිරීමේදී වඩා සුමුදු සමක් ලබාගැනීමට නම් රේසරය පාවිච්චි කිරීමට පෙර දුඹුරු සීනිවලින් මැරුණු සම ඉවත් කරන්න.

ලස්සන දැතක් හිමි කරගන්න නම් ඔලිව් තෙල් ටිකකට දුඹුරු සීනි සහ විටමින් ඊ කරලක් එකතු කර ඒ මිශ්‍රණය දෑත්වල ආලේප කර ටික වෙලාවකට පසු සෝදා හරින්න.

සුරේෂ් විදානගමගේ