සේනා දළඹුවා අල්ලන්න ජෛව පාලන උගුලක්
බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ඉදිරි යල කන්නයේ සිට බීජ බඩ ඉරිඟු සමග ජෛව පාලන උගුලක් (Fheromaone trap) ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.
මෙමගින් සේනා දළඹුවාගේ සළඹයා උගුලට හසුකර ගැනීමේ හැකියාව පවතින බව සේනා දළඹු හානිය වැළැක්වීමේ කමිටු ප්රධානී අනුර විජේතුංග පැවසුවේය.
අදාළ ජෛව පාලන උගුල වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි බවත් එය රුපියල් 700ක් පමණ වන බවද ඔහු කීවේය.
මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු හෙක්ටයාර් ලක්ෂයක් පමණ වගා කර ඇති බවත් ඉන් සියයට 10ත් 25ත් අතර වගා භූමියේ බඩ ඉරිඟු කොළවලට සේනා දළඹුවා හානි කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
සේනා දළඹු හානිය මර්දනය කිරීමට ගොවීන්ගේ උනන්දුව ප්රමාණවත් නොවන බවත්, සේනා දළඹුවා මර්දනය සඳහා එන්.පී.වී. (NPV) නැමැති ජෛව රසායනිකය ඇමරිකාවෙන් ගෙන්වා පුද්ගලික අංශය විසින් බෙදා හරිමින් පවතින බවද අනුර විජේතුංග කීවේය.
මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාවට සේනා දළඹු හානියේ තීව්රතාවය සියයට 10ත් 25ත් අතර පැවැතියත්, එය අස්වැන්නට බරපතළ බලපෑමක් නොවන බවද ඔහු පැවසුවේය.
සාලිය කුමාර ගුණසේකර
