සෞන්දර්ය සරසවියට ප්‍රවේශයවීමේ ප්‍රායෝගික පරීක්ෂණ නවතී
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ දී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණ නතර කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
නර්තන හා නාට්‍ය, සංගීත සහ දෘෂ්‍ය කලා යන පීඨවලට ඇතුළත් කෙරෙන සිසුන් උසස් පෙළ විභාගයට අමතරව ඒ ඒ පීඨවලින් පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයෙන් ද සමත් විය යුතු වූ නමුත් මින් ඉදිරියට සිසුන් තෝරා ගැනෙන්නේ උසස් පෙළ ඉසඩ් ලකුණු මත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ’ට ඊයේ (31 වැනිදා) පැවසීය.
එලෙස තෝරා ගැනෙන සිසුන් උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අමතරව තමන් ඇතුළත් වන පාඨමාලාවට අදාළව සපුරා ඇති සුදුසුකම් සලකා බැලෙන බව ද සභාපතිවරයා කීවේය.
එම අමතර සුදුසුකම් විභාගයට පෙනී සිටීමට පෙර හෝ පෙනී සිටීමෙන් පසු සපුරා ගැනීමට හැකියාව ඇතැයි ද එම අමතර සුදුසුකම් කවරේ ද යන්න ඉදිරියේ දී දැනුවත් කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ප්‍රායෝගික පරික්ෂණ නතර කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ගත වන කාලය අඩු කර ගැනීමේ අරමුණෙනි.
නිලන්ත මදුරාවල
