හතළිස් දෙවසරක් පැරණි විශ්වවිද්‍යාල පනත සංශෝධනයට
වසර හතළිස් දෙකක් තිස්සේ නොවෙනස්ව පවතින විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ සඳහා විශ්‍රාමික මහාචාර්යවරු තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධන හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ධම්මික තන්තිරිගොඩ යන තිදෙනා මෙලෙස පත් කර ඇති අතර කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.
සිදු කෙරෙන සංශෝධන පිළිබඳව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අනධ්‍යයන වෘත්තීය සංගම් ද ඇතුළුව ක්ෂේත්රයේ සියලු ම අංශවලින් අදහස් හා යෝජනා ලබා ගැනීමට කමිටුව අපේක්ෂා කරයි.
කමිටුවේ වාර්තාව නොවැම්බර් මස වන විට අවසන් කිරීමට දැනට සැලසුම් කර ඇත.
මේ වන විට ක්‍රියාත්මක වන්නේ 1978 අංක 16 දරන පනතය.
නිලන්ත මදුරාවල
