හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන සී.අයි.ඩී. පරීක්ෂණ
යහපාලන ආණ්ඩුව සමයේ මතභේදයට තුඩු දුන් රුපියල් බිලියන 700කට අධික (ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක්) වටිනාකමින් යුත් ‘හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පසුගිය වසරේ (2019) මාර්තු මාසයේ දී සිදු කෙරුණු නිවේදනයට අනුව මෙම ව්‍යාපෘතියේ කොටස්වලින් 30%ක් ‘ඕමාන් තෙල් හා ගෑස් අමාත්‍යාංශයට’ අයත් වේ.
කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනයක් වන සිල්වර්ගාක් ඉන්ටනැෂනල් විසින් මෙහෙය වන ලද මෙම ව්‍යාපෘතියෙන් ඕමානයට කිසිදු කොටස් හිමිකමක් නොමැති බවයි.
නම් කරන ලද මෙම සිල්වර්ගාර්ක් ආයතනයේ අධ්යක්ෂවරු සිව්දෙනා අතුරින් තිදෙනෙක් ලෙස නම්කර ඇත්තේ ජෙග්රක්ෂගන් සුන්දීප් ආනන්ද්, ජගන් රාක්ෂන් ශ්රීනිශා සහ ජගන්රාක්ෂන් අනුසුගන යන අයයි. ඔවුන් ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්රම් කසාගම් (ඩී.එම්.කේ.) පක්ෂයේ ආන්දෝලනාත්මක දේශපාලනඥයකු වන එස්. ජගන්රාක්ෂන්ගේ පුත්‍රයා, දියණිය සහ බිරිය වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට අක්කර සිය ගණනක් වෙන් කර ඇති නමුත් කිසිදු පාරිසරික ඇගැයීම් වාර්තාවක් සකස් කර නොමැත.
මේ දක්වා ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජකයකුද ඉදිරිපත්ව නොමැත. ආයෝජන මණ්ඩලය හරහා මෙරටට පැමිණි ව්‍යාපෘතියක් ලෙස ‘හම්බන්තොට තෙල් පිරිපහදු’ කරලියට පැමිණි නමුත් මේ වන විට ආයෝජන මණ්ඩලය සතුවද ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු නොමැති බව අනාවරණය වේ.
නයන තරංග ගමගේ
