ප්‍රීතිමත් ජීවිතයකට

හැම මාසෙම පළවෙනිදට කිරිබතක් උයලා මාසෙ පටන් ගන්න

මම ගෘහණියක්. රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි. ඒත් උදේ ඇහැරුන වෙලේ ඉඳන් නිදියගන්න වෙලාව වෙනකන් මට වැඩ ගොඩක් තියනවා කරන්න. හැබැයි ඒ හැමදේම මං කරන්නේ සතුටෙන්. ඒ නිසා මට ඒක කරදරයක් විදියට දැනෙන්නෙම නෑ.

පොඩි දරුවෝ ඉන්නකොට ගෙවල් පිලිවෙලට තියාගන්න අමාරුයි. ඒක දරුවෝ ඉන්න ඕන අම්මා කෙනෙක් දන්න දෙයක්නේ. දරුවෝ ගොඩක්ම පුංචි කාලේ මාත් සැරින් සැරේට අස් කරා. එහෙම කරද්දී මට දැනුනු මහන්සිය වැඩියි. කේන්ති යනවත් වැඩියි. පස්සේ මං දවසට එක පාරක් අස් කරන්න තියාගත්තා. ඒ රෑට. දරුවෝ නිදි කරලා ඉවරවෙලා ගෙදර පිරිසිදු කරන්න මම පුරුදු වුණා. ඒ විදියට මං අවුරුදු හතරක්ම කරගෙන ආවා. දැන් මට ලේසිම විදිය ඒක. උදේට ඇහැරුනාමත් හිතට නැවුම් ගතියක් එනවා ගේ පිරිසිදුව තියෙද්දී.

අපි අපිට ලේසි විදියකට ගෙදර වැඩ කළමනාකරණය කරගත්තාම මහන්සියක් දැනෙන්නේ නෑ. ගෙදර වැඩ කරදරයක් කියලා හිතෙන්නෙත් නෑ. ගෙදර වැඩ කරන හැම වෙලාවකම හිතන්න, මේක මට කරදරයක් නෙවෙයි, මං මේ හැමදේම කරන්නේ මගේ පවුලේ සතුට වෙනුවෙන් කියලා. ඒ ගමන් තමන්ටම ස්තූතිවන්ත වෙන්න ගෙදර වැඩ කරලා හිත සතුටු කරගන්න පුළුවන් එකට. එතකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.

වැදගත්ම කාරණාව මොකක්ද දන්නවාද?

ඉස්සර මං ගෙවල් අස් කරන්නේ කේන්තියෙන්, තරහෙන් ගෙදර හැමෝටම බැන බැන. පස්සේ මං මාව වෙනස් කරගත්තා. සතුටෙන්, ආසාවෙන් ගෙවල් පිරිසිදු කරා. ආසම සිංදු ටිකක් දාගෙන ඒවා හෙමින් මුමුණන ගමන් අස් කරන දේවල් කරා. තරහෙන් අස් කරද්දී උදව්වට කවුරුත් අවේ නැති වුණත් සතුටෙන් අස්කරද්දී දහම්ගේ ඉඳන් පැටව් තුන්දෙනාම මගේ උදව්වට ආවා. එදා මං දැනගත්තා ඕනම දෙයක් සතුටෙන් කරද්දී, ආසාවෙන් කරද්දී ගෙදර අයටත් ඒවාට හවුල් වෙන්න කැමැත්තක් ඇති වෙනවා කියලා.

මං පාන්දර 4ට ඇහැරෙනකොට ගොඩක් වෙලාවට දහම් මං එක්ක ඇහැරෙනවා. දරුවන්ගේ බෝතල්වලට වතුර පුරවන්නේ එයා. රෑ ලෑස්ති කරන school bag තව වතාවක් හරිද කියලා බලන්නෙත් එයා. අතුගාන එකේ ඉඳන් රෙදි වනන එක දක්වාම  දහම් එයාට පුළුවන් විදියට ගෙදර හැමදේටම මට උදව් කරනවා.

මං ගෙදර ආසාවෙන්ම කරන අනිත් දේ උයන එක. උයන එක ගැන මං දවස ගානේ අලුත් දේවල් ඉගෙනගන්නවා. අදටත් සමහර වෙලාවට කෑම පිච්චෙනවා, කරවෙනවා වගේ දේවල් වෙනවා. ඒ වුණත් මට උයද්දී දැනෙන්නේ සතුටක්. මගේ වචනෙන් කිව්වොත් උයද්දී මං ඉන්නේ මාර ජොලියෙන්. අලුත් කෑමක් හදද්දි මේක රස නැති වෙයිද? හරි යන්නැති වෙයිද කියලා හිතලා කවදාවත් මං කෑම හදලා නෑ. මං ඒවා හදන්නේ අද තමයි හොඳම කෑම එක හදන්නේ කියලා හිතාගෙන. එතකොට හදන කෑම එක වැරදෙන වෙලාවල් අඩුයි.

හැම මාසෙම පළවෙනිදා මං පටන් ගන්නේ කිරිබත් උයලා. කිරිබත් හදන ගමන් හිතන්නේ මේ මාසේම කිසි කරදරයක් දුකක් නැතුව ගෙවෙන්න කියලා. කිරිබත් හදන්නේ සුබ දෙවල්වලටනේ. ඉතින් අලුත් මාසයක් පටන් ගන්න පළවෙනි දවසේ කිරිබතක් උයන්නේ මාසේම සුබ වෙන්න කියන ප්‍රාර්ථනාවෙන්.

බත් හරි කිරිබත් හරි උයන්න මං හාල් ටික ලිපට තිබ්බත් රයිස් කුකර් එකට තිබ්බත් තුන්පාරක් හාල් ටිකට වඳිනවා. අම්මා එහෙම කරනවා දැකලා තියෙන නිසා මාත් උයන්න පටන් ගත්ත කාලේ ඉඳලම ඒක කරනවා. එහෙම බත් එකට අත ගහලා වඳින්නේ බත් දෙන ගොවියන්ට කරන ගෞරවයක් විදියට සහ බඩගින්න නිවන බත් එකට කෘතවේදී වීමක් හැටියට. තමන් කන බොන දේට පවා ස්තුතිවන්ත වෙන්න පුරුදු වුණාම අපිට වැඩියෙනුත් එක්ක ඒ දේවල් ලැබෙනවා.

කෑම ලස්සනට හදලා මේසෙට තියලා හැමෝම එක්ක එකතු වෙලා කෑම කනකොට තියන්නේ ලොකු සතුටක්. කෑම මේසේ ඉඳගෙන පවුලේ හැමෝම කතා කර කර, හිනා වෙවී විනෝදෙන් කනකොට පවුලේ බැඳීමත් වැඩිවෙනවා. අපි පස්දෙනාම මේසේ ඉඳන් කන වෙලාවට නතාරී දුව කියන්නේ ‘හැපී ෆැමිලි ටයිම්’ කියලා. දරුවන්ගේ කටින් එහෙම ඇහෙද්දී අපි තරම් වාසනාවන්ත දෙමව්පියෝ තවත් නෑ කියලා ඔයාලට හිතෙයි.

ඒ වගේම දරුවන්ගේ උපන්දිනවලට හදන කේක් එකේ ඉඳන් අනිත් හැමදේම මං හදන්නේ මගේ අතින්. මුලින්ම හදන දේවල් කොළේක ලියාගෙන උපන්දිනේට සුමානෙකට කලින් එක එක ජාති හදලා ෆ්‍රිජ් එකේ දානවා. කේක් එක විතරක් උපන්දිනේට කලින්දා හදනවා. හැමදේම මගේ අතින් ආසාවෙන් ආදරෙන් හදන නිසා හිතට දැනෙන සතුට වැඩී.

‘මගේ හැම බර්ත්ඩේ කේක් එකක්ම හැදුවේ අම්මා’ කියලා දරුවෝ කියනවට මම ආසයි. මට ඕන එහෙම අම්මා කෙනෙක් වෙන්න. උපන්දිනේට දරුවන්ට දෙන උපන්දින කාර්ඩ් එක හදන්නෙත් මායි දහමුයි එකතු වෙලා. එතකොට දරුවන්ට වගේම අපිටත් දැනෙන සතුට වැඩියි.

පවුල කියන්නේ ජීවිතේ දැනෙන තැනක්. ආදරේ පිරුණ තැනක්. දුකත් සතුටට හරවන තැනක්. පවුලත් එක්ක ඉස්සරහට යන ගමන ගොඩක් ශක්තිමත්. මගේ ජීවිතේ මං ඉදිරියට තියන හැම අඩියම තියන්නේ සතුටෙන් සැනසීමෙන්. මං දන්නවා මං පරදින්නේ නෑ කියලා. මගේ සතුටේ කොටස්කාරයෝ හතරදෙනා මට පරදින්න දෙන්නේ නෑ කියන විශ්වාසය මට තියෙනවා. ඒ නිසා සතුටින් ඉන්න නම් හැමදේටම වඩා තමන්ගේ පවුලට මුල්තැන දෙන්න. එහෙම කලාම ලැබෙන සතුට කෝටි ගණන් හම්බ කළත් ගන්න බෑ.

මං
හෂීණී
සරල සාමාන්‍ය ගැහැනියක්.