හෙට සිට වැසි වැඩිවෙයි
දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් ජූලි මස 28 දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතෙත් ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.
කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර, වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
