News

ළමයින් රවටා අසැබි වීඩියෝ තැනු ගුරා රිමාන්ඩ්

පාසල් සිසුන් යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට තැනුවායැයි කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා අගෝස්තු 5 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (26වැනිදා) නියෝග කළේය.

මෙම ගුරුවරයාට එරෙහිව දරුවන්ගෙන් වීඩියෝ සාක්ෂි ලබාගැනීමට ජාතික ළමාරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හතර හැවිරිදි නිරත්ත එදිරිසිංහ නමැති අයෙකි.

සැකකරුට අයත් පෙන් ඩ්‍රයිව් එකක් අස්ථානගත වීමෙන් අනතුරුව එහි තිබූ බව කියන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබේ. එම වීඩියෝවේ පාසල් සිසුන්ගේ අසැබි දර්ශන තිබී ඇත. ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගයෙන් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් ළමයින්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු ලෙස ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුගේ නිවෙසේ තිබී දරුවන්ගේ පාසල් ඇඳුම් රැසක් ද සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරුගේ ජංගම දුරකතනයේ ද දරුවන් යොදා තැනූ අසැබි වීඩියෝ රැසක් තිබී ඇත.

ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ,

දැනට වෛද්‍ය පරීක්ෂණ සඳහා දරුවන් දෙදෙනකු රෝහල්ගත කර තිබෙන බවයි.

වසර දහයක් තිස්සේ මෙම ටියුෂන් ගුරුවරයා පාසල් යන වයසේ දරුවන් අපයෝජනය කර ඇතැයිද විමර්ශනවලදී හෙළි වී ඇත.

දැනට ඔහු විසින් වීඩියෝ කරන ලද අසභ්‍ය වීඩියෝපට 137ක් හමු වී තිබේ. රූපවාහිනි ළමා වැඩසටහන් පැවැත්වෙන තැන්වලට ගොස් දරුවන්ගේ ඡායාරූප ලබාදෙමින් සහ ඩ්‍රෝන කැමරා තෑගි දෙමින් දරුවන් මේ සඳහා පොලඹවාගෙන ඇතැයි පැවැසේ.

දෙමාපියන්ටත් නොදැනෙන්නට පිරිමි දරුවන් ලිංගික අපයෝජනය කර ඇති බවද සඳහන්ය. එම වීඩියෝපට විදෙස් රටවලට විකිණීමේ ජාවාරමක් කරගෙන ගියාදැයි දැනට විමර්ශන කරයි.

•හේමන්ත ලියනපතිරණ