154 වැනි පොලිස් දිනය අද
ශ්‍රී ලංකා පොලිසිය සිය 154 වැනි පොලිස් දිනය අද (3 වැනිදා) සමරද්දී පොලිස්පති ධුරය වසරකුත් මාස හතරකට වඩා පුරප්පාඩු වී තිබීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසක් පැනනැගී ඇතැයි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
2019 අප්‍රේල් 29 වැනිදා සිට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවූ පසු වැඩබලන පොලිස්පති ලෙසින් චන්දන වික්‍රමරත්න පත්කෙරිණි. එතැන් පටන් චන්දන වික්‍රමරත්න මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන්නේය.
පොලිස්පති තනතුර පුරප්පාඩු නිසා තීන්දු තීරණ ගැනීමේ ගැටලු පැනනගින බවද ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.
පොලිස්පති ධුරය සඳහා සුදුස්සෙකු පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවය.
2016 අප්‍රේල් 20 වැනිදා ව්‍යවස්ථා දායක සභාව මගින් 34 වැනි පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කළ අතර පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ඔහු අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.
ඉන්පසුව පූජිත් ජයසුන්දර 2020 මාර්තු 15 වැනිදා වයස අවුරුදු 60 සම්පූර්ණ කර විශ්‍රාම ගත්තේය. පොලිස්පති ධුරයේ පුරප්පාඩුව පිරවීම සම්බන්ධව ව්‍යවස්ථාදායක සභාව මීට පෙර අවස්ථාවල රැස්වුවද මෙතෙක් එම ධුරයට කිසිවකුත් පත්කර නොමැත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
