News

2019 විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු පිළිබද මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

විශ්වවිද්‍යාල කඩඉම් (Z-score) ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.

එම පෙත්සම් ගොනුකර තිබුණේ 2019 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත්වූ සිසුන් 40 දෙදෙනෙකු විසිනි.

බුවනෙක අළුවිහාරේ, එස්. තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳව සලකා බැලීම ඉකුත් දින තුනක් පුරා සිදුකෙරුණි.

ඉන් අනතුරුව අද (23) දින සිය තීරණය ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මෙම පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නේය.