News

4% සහන පොලී ණයට මහ බැංකුවෙන් මහ පොල්ලක්

රජය, කොවිඩ් -19 වයිරසයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන්ට සහන සැලසීම සඳහා සියයට හතරක පොලියට එක් ව්‍යවසායකයකුට රුපියල් මිලියන විසිපහක උපරිමයට යටත්ව ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබුණත් මහ බැංකුවේ නිද්‍රාශීලී බව නිසා එය සාර්ථක වී නැති බව වාර්තා වේ.

සියයට හතරක පොලී ප්‍රතිශතයක් යටතේ වැටුප්, කුලී සහ විදුලි සහ ජල ඇතුළු එදිනෙදා වියදම්වලට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම සඳහා රුපියල් මිලියන විසිපහක උපරිමයකට යටත්ව මෙලෙස ණය මුදල් නිකුත් කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ සහන ඇයැදුම් කිරීමට පසුගිය මැයි 29 දා පස්වරු 06.00 දක්වා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කාලය ලබා දී තිබුණු අතර එදින සවස 04.00 වන විට ලංකා බැංකුවට ලැබී තිබුණු අයැදුම්පත්වල ණය වටිනාකම රුපියල් බිලියන 6.9ක් වී ඇත.

ණය අයදුම්පත් භාර ගැනීමේ කාලය නියමිත වේලාවට වඩා වේලාසනින් සමාප්ත කළ බැවින් තවත් බිලියන දෙකක වටිනාකමක් ඇති අයදුම්පත්වලට ඉඩ තිබුණු බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාළ වටිනාකමින් පසුගිය සිකුරාදා වන විට මහා බැංකුව විසින් අනුමත කර ඇත්තේ රුපියල් බිලියන 2.6ක් පමණි.මෙම සහන සැලැසීම් වෙනුවෙන් ලංකා බැංකුව මේ වන විට මුදාහැර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.6කි.

මහ බැංකුවේ මේ ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.