විශේෂාංග

දරුවො නෑ කියලා මහත්තයා දාලා ගියා ඒත් අවුරුදු 66 දි මම දරුවෙක් වැදුවා

රුමේනියානු ගුරුවරියක වුණු ඇඩ්‍රියානා ඉලිස්කු (Adriana Iliescu) විවාහ වෙනකොට ඇයට වයස අවුරුදු 20යි. විවාහයෙන් පස්සේ ඇයට අම්මා කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණත් ඒ ආසාවට එක බාධාවක් තිබුණා. ඒ ඇඩ්‍රියානා ක්ෂය රෝගයෙන් පීඩා විඳීම. එහෙමයි කියලා ඇය ඒ ආසාව අහක දැම්මෙ නෑ. දැඩි අවදානමක් මැද්දේ වුණත් දරුවෙක් හදන්න තීරණය කරපු නිසා ඇය ගැබිනියක් වුණා.

ඒත් ඒක දැඩි අවදානම් තත්ත්වයක් විදියට පෙනුණු හින්දා ඉක්මණින්ම ගබ්සාවක් කරන්න ඕන කියලයි වෛද්‍යවරු ඇයට උපදෙස් දුන්නේ. අන්තිමේ ජීවිතේ ගැන හිතලා අකමැත්තෙන් වුණත් ඇයට ඒ තීරණයට එකඟ වෙන්න වුණා. හැබැයි එහෙමයි කියලා ඇය තමන්ගෙ දරු සිහිනය නම් නැතිකරගත්තේ නෑ. කලින් වගේ අවදානමක් ගත්තේ නැති වුණත් ඇඩ්‍රියානා එහෙම දවසක් ගැන විසිහතර පැයේම හීන මැව්වා. ඔය අතරතුරේම දරුවෙක් නැති සොව නිසා  ඇගේ සැමියත් ඇයගෙන් වෙන්වෙන්න තීරණය කරලා තිබුණා.

මොනතරම් හීන මැව්වත් තිබුණු අසනීප තත්ත්වයත් එක්ක මට දරුවෙක් ගැන හිතන්න බැරිවුණා. අනික ඒ වෙනකොට මට සැමියෙක් හිටියෙත් නෑනේ. ඒත් අවුරුදු 37ක් වෙනකොට ආයෙත් මට දරුවෙක් හදන්න ලොකු ආසාවක් ආවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ IVF පහසුකම තිබුණේ නෑ.”

IVF පහසුකම කියන්නේ මදසරුභාවය හේතුවෙන් පීඩාවිඳින අම්මලාට දරු සුරතල් බලන්න අවස්ථාව ලබාදෙන එක්තරා පහසුකමක්. ඒත් ඇඩ්‍රියානාගේ අවාසනාව කියන්නේ ඒ වෙනකොටත් IVF පහසුකම රුමේනියාවේ තිබුණේ නෑ. එරටට ඒ පහසුකම ලැබුණේ ඇයට වයස අවුරුදු 57ක් වුණාටත් පස්සේ. ඒත් ඒ වෙනකොට දරුවෙක් හදන්න තරම් ඇය හොඳ සෞඛ්‍ය මට්ටමක නෑ කියලයි වෛද්‍යවරු කියලා තිබුණේ. නිකන් හරි ඇඩ්‍රියානා එහෙම අවදානමක් ගත්තොත් ඇගේ ජීවිතේට වුණත් හානියක් වෙන්න බැරි නෑ කියලත් වෛද්‍යවරු ඇයට කියලා තිබුණා.

කොච්චර වයස ගියත් මට දරුවෙක් හදන්න උවමනාව තිබුණා. ඒ නිසා මං මගේ අසනීපෙට හොඳ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. ඒ හරහා මට දැනුණා මං නිරෝගියි වගේ හැඟීමක්. ඉතින් මං වයස ප්‍රශ්නයක් කරගන්නේ නැතුව දරුවෙක් ගැන හිතුවා. 2005 අවුරුද්දේ. එතකොට මට වයස අවුරුදු 66ක්.”

එවර නම් ඇඩ්‍රියානා ගත්තේ එසේ මෙසේ අවදානමක් නෙවෙයි. එක පැත්තකින් ඇගේ අසනීපය. අනෙක් පැත්තෙන් ඇගේ වයස. ඒත් ඒ අවදානම් දෙකම මැද්දෙන් එවර ඇය ඇගේ ආසාව ඉටුකරගත්තේ ලෝක වාර්තාවකුත් එක්කමයි. ඒ දරුවෙක් බිහිකරපු ලෝකයේ වයසකම අම්මා වෙලා. ඇය ඒ අවදානම් දරු උපත සිදුකළේ රුමේනියාවේ බුකාරෙස්ට්හි ජියුලෙස්ටි මාතෘ රෝහලේදි. ඒ සිසේරියන් සැත්කමක් මඟින්.

මට රෝසපාට පුංචි කෙල්ලෙක් ලැබුණා. ඒ ගැන හරිම සතුටුයි. ඇයගේ නම එලිසා මරියා ඉලිස්කු. මං අවුරුදු විස්සෙදි දැකපු හීනය සැබෑ වෙන්න අවුරුදු 46ක් මට බලාගෙන ඉන්න වුණා.”

දරු ප්‍රසූතියෙන් පස්සේ ඇඩ්‍රියානා කෙළින්ම යොමුකළේ දැඩි සත්කාර ඒකකයට. මොකද ඒ වෙනකොටත් ඇයගේ සෞඛ්‍ය මට්ටම හොඳ තත්ත්වයක තිබුණේ නෑ. ඒ අතරතුරේ ඇය බිහිකරපු දරුවා අඩු මසකින් බිහිකරපු දරුවෙක් කියලයි වෛද්‍යවරුන් කිව්වේ. ඒ සම්බන්ධව රෝහල් ප්‍රධානී බොග්ඩන් මැරිනෙස්කු කියලා තිබුණේ මෙහෙම කතාවක්.

සෞඛ්‍ය සම්පන්න තරුණ පරිත්‍යාගශීලීන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු භාවිතයෙන් කෘතිම ගැබ් ගැන්වීමකින් තමයි ඇය දරුවෙකුට ජීවය දුන්නේ. හැබැයි තව දෙයක්. ඇඩ්‍රියානා තුන් නිවුන් කළලයක් දරාගෙන සිටියත් ප්‍රසූතියට පෙර එතැනින් කළල දෙකක්ම මියගිහින් තිබුණා. අපි හිතනවා ඇයගේ ගර්භාෂයට කළල සාර්ථක ලෙස දරාගන්න පුළුවන් බවට සහතික කරන්න ඇය හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබාගන්න ඇති කියලා.”

මේ අතරේ මේ වගේ අවදානමක් මැද දරුවෙකු බිහිකරන්න ඉඩ ලබාදීම ගැන නම් කවුරුත් රුමේනියානු සෞඛ්‍ය අංශයට ඇඟිලි දිගු කරලා තිබුණා. ඒ වයසින් වැඩි කාන්තාවන් කෘත්‍රිම ගැබ් ගැන්වීම හරහා හෝ දරුවෙක් ලැබීමට පෙළඹවීම ඔවුන්ව අනතුරේ හෙලීමක් කියලා.

ඒ කොහොම වුණත් මේ වෙනකොට ඇඩ්‍රියානගේ වයස 85ක්. එතකොට එලීනගේ වයස 19ක්. ඒක නිසාම දෙන්නා එකට ගමන් බිමන් යද්දි ගොඩාක් අය එලීනගෙන් අහවනලු “මේ ඔයාගේ ආච්චිද?” කියලා. ඒ වෙලාවට එලීනට නම් ටිකක් තරහා ගියාට ඇඩ්‍රියානට නම් එහෙම නැතිලු. මොකද දරුවෙක් වෙනුවෙන් අවුරුදු 46ක් ඉවසගෙන බලාගෙන හිටපු ගෑනියෙක්ට ඒ වගේ කතාවකට තරහා ගිහින් කොහොමද? හැබැයි ඒ වෙලාවට ඇය එහෙම අයට හිනාවෙලා මෙන්න මෙහෙම කියනවලු.

ඔයාලා දන්නවද? මං තමයි එලීනගේ හැටහයේ අම්මා…”

රුවන් එස්.සෙනවිරත්න