විශේෂාංග

අවුරුදු පහකින් තරුණ වෙනවද? වයසට යනවද?

තව අවුරුදු පහකින් ඔබේ සම දිදුලමින් තියේවිද නැත්නම් වියපත්ව එල්ලා වැටේවිද කියන එක අදම දැනගන්න කැමතිද?

මේ ලිපිය කියවීමෙන් පසු ඒ පිළිබඳව දළ අදහසකට එළැඹීමට ඔබට හැකිවේවි.

‘‘තව අවුරුදු කිහිපයකින් මගේ සම මොන වගේ වේවිද කියලා සමහරු අපෙන් අහනවා. ඇත්තටම ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ තව කෙනෙක්ගෙන් නෙවෙයි. ඒක ඔයා ඔයාගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක්.’’

එසේ පවසන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ චර්මරෝග වෛද්‍ය ස්ටීවන් නිව් ය. ඔහු කියන්නේ ඔබ හොඳින් සම රැකබලාගන්නේ නම් සම ද ඔබව හොඳින් රැකබලාගන්නා බවය.

‘‘කුඩා කාලෙදී අපිට තියෙන්නේ ඉතාම සිනිඳු, මෘදු සමක්නේ. හැබැයි දැන් තියෙන්නේ ඊට හාත්පසින් වෙනස් සමක්. අපේ සම දවසින් දවස වියපත් වෙනවා. හැබැයි හරි විදිහට රැකබලාගත්තා නම් වයසට යන එක ප්‍රමාද කරන්න අපිට පුළුවන්. ගැටළු ඇති වුණාට පස්සේ ඒවට ප්‍රතිකාර කරනවාට වඩා ඒ ගැටළු ඇතිවෙන්න නොදී වළක්වාගන්න එක තමයි වඩා පහසු.’’

සම රැකබලාගැනීමේ ප්‍රතිලාභ පිළිබඳව වෛද්‍යවරයා තවදුරටත් පැහැදිලි කරන්නේ එසේය.

සම රැකගැනීම වැදගත් වන්නේ බාහිර ඔපය සඳහා පමණක් යැයි සිතනා නිසාදෝ ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය, මුදල් වැය කිරීම පිළිබඳව ඇතැම් අය තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවේ.

නමුත් එය හුදෙක් බාහිර ඔපය වෙනුවෙන් පමණක් සිදුකරන දෙයක් නොවන බව ලොව පුරා චර්මරෝග වෛද්‍යවරුන්ගේ මතයයි.

පිරිසිදු සහ පැහැදිලි සමක් තිබීම ඔබේ ආත්ම විශ්වාසය මෙන්ම මානසික සුවතාවද ඉහළ නැංවීමට උපකාරී වන බව කිව යුතුය.

ඔබව හමුවන අයවළුන්ට ප්‍රථමයෙන් නිරාවරණය වන්නේ ඔබේ සම වන අතර, නිසි වයසටත් පෙර ඔබේ සම අවපැහැගැන්වී, රැලි වැටී ඇති විටෙක ඔබගේ පෞරුෂය පිළිබඳව වැරදි චිත්‍රයක් සමාජගත වීමට වුවද ඉඩ ඇත.

සම හොඳින් රැකබලාගන්නා අයවළුන් ව්‍යායාම කිරීම පිළිබඳව මෙන්ම සමබල ආහාර වේලක් ලබාගැනීම පිළිබඳවත් හොඳ අවධානයක් යොමු කරන බව ඇමරිකාවේ සුප්‍රසිද්ධ චර්ම රෝග වෛද්‍යවරයෙකු වන හැරල්ඩ් ලාන්සර් සිදුකළ අධ්‍යනයකින් ද සනාථ වී ඇත.

‘‘​හොඳ පෙනුමකට යහපත් පෞරුෂයකට විතරක් නෙවෙයි සෞඛ්‍ය සම්පන්නභාවය උදෙසාත් ස​මේ නිරෝගීබව වැදගත්. ඉතින් අද ඉඳලම සම රැකගන්න එක තමයි හොඳම දේ.

සම කිව්වහම මම මෙතනින් අදහස් කරන්නේ මුහු‍ණේ සම විතරක් නෙවෙයි. මුහුණේ සම වගේම මුළු සිරුරේම සම හොඳින් රැකගන්න අපි උනන්දු වෙන්න ඕනේ.

වගේම සම රැකගන්න ඕනේ කාන්තා පාර්ශවය විතරයි කියලා හිතන පිරිසකුත් ඉන්නවනේ. ඒක වැරදි මතයක් කියන එකත් මෙතැනදී මම මතක් කරන්න කැමතියි.

සම රැකගන්න නම් දිනපතා අනුගමනය කළ යුතු රූපලාවන්‍ය පුරුදු මොනවාද කියන කාරණාව ගැන මීට කලින් ලිපියකින් ඔබව දැනුවත් කළා. ඒ නිසා සම රැකගැනීමට කළ යුතු හොඳම සත්කාර ගැන අද මම කියන්න හිතුවා.

සමේ ගැටළු තියෙන ගොඩක් අය කරන්නේ වෙළෙඳපොළට ගිහින් මොකක්ම හරි ක්‍රීම් වර්ගයක් අරගෙන ආලේප කරන එකයි. හැබැයි ඔබ නොදැනුවත්ව ස්ටෙරොයිඩ් නැතිනම් බ්ලීචින් ක්‍රීම් වර්ග ආලේප කළොත් සමේ ගැටළුකාරී බව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සමේ ගැටළුවක් තියෙනවා නම් චර්මරෝග වෛද්‍යවරයෙකු හෝ වෘත්තීය සුදුසුකම් ඇති රූපලාවන්‍ය උපදේශකයෙකුගේ උපදෙස් ලබාගන්න එක තමයි හොඳම විසඳුම.

සමේ ගැටළු නොමැති කෙනෙක්ට වුණත් මාසිකව ප්‍රමිතිගත රූපලාවන්‍ය සත්කාරයක් කරනවා නම් සම වියපත් වෙන එක පහසුවෙන්ම ප්‍රමාද කරන්න පුළුවන්.

අපේ සම වියළි, මිශ්‍ර, සංවේදී, සාමාන්‍ය සහ​ තෙල් සහිත සම වගේ ආකාර කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්. සමට සත්කාර කිරීමේදී ඒ එක් එක් පුද්ගලයන්ගේ සමේ ස්වභාවයට අනුව තමයි අපි සත්කාර කරන්නේ.

වියළි සමක් තියෙන කෙනෙක්ට නම් මාසයකට වරක් හයිඩ්‍රේටින් ෆේෂල්, ඔක්සිජන් ෆේෂල් වගේ සත්කාර වඩාත් හොඳයි.

ඒ වගේම කුරුලෑ සහිත සමක් තියෙන කෙනෙක් නම් ඩර්මාප්ලෑන්, කෙමිකල් පීලින් වගේ සත්කාර කරගන්න පුළුවන්.

මිශ්‍ර සමකට නම් Dr Skin Treatment එක වඩාත් ප්‍රතිඵලදායකයි.

ඒ වගේම සංවේදී සමට හයිඩ්‍රා ෆේෂල් හෝ එවැනි වෙනත් ෆේෂල් වර්ග වෙනම කරගන්නත් පුළුවන්.’’

ගොඩක් කාන්තාවන් මුහුණේ සම හැරුණුකොට ශරීරයේ අනෙකුත් ස්ථානවල සම ගැන හිතන එක අතඇරලා දානවා. ඒත් මතක තියාගන්න සම රැකගන්නවා කියන්නේ ඔබ, ඔබ වෙනුවෙන්ම කරන ආ​යෝජනයක් කියන එක.

නදීශා නිර්මාණි