Celebrities

අකිල මට කැමතියි කියද්දි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ – අකිල විමංග සෙනවිරත්නගේ බිරිඳ භාග්‍යා ආගරරත්න

“ ‘සර් මට ආදරේ හිතෙන්නෙම මට ආදරේ නැති අයට. ඒ කෙනාව බැන්දොත් ජීවිතේම විනාශ වෙයි කියලා දැන දැනත් එයාගේ පස්සෙම යන්න හිතෙනවා.’ තරුණ දූලා පුතාලා අනන්තවත් මට ඔහොම කියලා තියෙනවා.

පුතේ අපිට ජීවිතේ තීරණ ගන්න විවිධ අවස්ථා එනවනේ. ප්‍රේමය තෝරගන්න එකත් ජීවිතේදි ගන්න වෙන වැදගත්ම තීරණයක්. මොකද අපි ආදරේ කරන්න තෝරගන්න කෙනා, එකට ඉන්න තීරණය කරන කෙනා මතයි අපේ ඉතිරි ජීවිතය තීරණය වෙන්නේ. ඒ නිසා අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙක්ට. ජීවිත කාලේ පුරාවටම එකට ඉන්න පුළුවන් කියලා දැනෙන කෙනෙක්ට. ආදරේ ළඟදි හැඟීම්වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගන්න.”

ආදරේ ගැන එහෙම කියන්නේ අකිල විමංග සෙනෙවිරත්න. ගොඩක් අය ඔහුව දන්නේ ‘අකිල සර්’ කිව්වහම. ඔහු සිංහල ගුරුවරයෙක්. ආදරේ ගැන, ආදරේ නිසා නොරැවටී ආදරෙන් ජීවත්වෙන්නේ කොහොමද කියන එක ගැන අකිල සර් කතා කරන වීඩියෝ නිතරම වගේ සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.

ආදරේ ගැන නිතරම කතා කරන මේ ආදරණීය තරුණයාට ආදරවන්තියක් නෑ කියලා තමයි ඔහු පහුගිය කාලෙම කිව්වේ. නමුත් ඒ කතාව විශ්වාස කරගෙන ඉඳපු බොහෝදෙනා පුදුම කරමින් පහුගිය ජනවාරි මාසෙ දවසක ඔහු විවාහ ගිවිසගත්තා. ඒ වගේම ඔහුගේ විවාහය බොහෝදෙනා කතාවෙන මාතෘකාවක් බවටත් පත්වෙලා තිබුණා. ඉතින් අද ආදරවන්තයින්ගේ දවසේ ‘ධරණී’ කවරය සරසන්න අපි මේ අලුත බැඳපු ජෝඩුවට ආරාධනා කළා. අකිල සහ ඔහුගේ ආදරණීය බිරිඳ භාග්‍යා ආගරරත්න තමයි ආදරවන්තයින්ගේ දිනයේ ධරණී කවරය දරා සිටින්නේ. 

කොයිතරම් ප්‍රේමය ගැන කතා කළත් විවාහයක් ගැන හිතන්නෙ නැහැ කියපු අකිල සර් එකපාරම විවාහ වෙන්න තීරණය කළේ ඇයි කියලයි අපි මුලින්ම ඔහුගෙන් ඇහුවේ. 

“ආදරේ දුකක් කිය කියා හිටපු අකිල සර් බැඳලා කියලා සමහරු කියලා තිබුණා. ඇත්තටම මට විවාහ වෙන්න අදහසක් තිබුණෙ නැහැ. ඒ මොනවා වුණත් ඇහුම්කන් දෙන්න, ළඟින් ඉන්න කවුරුහරි ඉන්න ඕනේ කියන එක මට නිතරම දැනුණා. ඒ දැනිලත් මම ආදරයක් ගැන හිතුවේ නැහැ. හැබැයි භාග්‍යව දැකපු පළවැනි පාරම මට ඇය ගැන ආදරයක් ඇතිවුණා. ඒ දැනුණු ආදරේ එක්කයි මගේ තීරණය වෙනස් වුණේ.”

අකිල මුලින්ම භාග්‍යව දැකලා තිබුණේ ඔහුගේ හිතවත් වෛද්‍යවරයෙක් ෆේස්බුක් දාලා තිබුණු ෆොටෝ එකකින්. 

“භාග්‍යාගේ ෆොටෝ එක දැක්කහම මට අමුතුම හැඟීමක් දැනුණා. හරියට ඇය මං වෙනුවෙන්ම බලාගෙන ඉන්න කෙනෙක් වගේ. පස්සේ මම මගේ යාළුවට කතා කරලා ඇගේ විස්තර ඇහුවා. ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකකුත් දැම්මා.”

වෛද්‍යවරියක් වේචචි භාග්‍යත් අකිලගේ ෆේස්බුක් රික්වෙස්ට් එක පිළිඅරගෙන. ඔය අතරේ ටික දවසක් යාළු මිත්‍රයෝ වගේ කෙරුණු කතාබහෙන් පස්සේ අකිල භාග්‍යට ඔහුගේ හිතේ තියෙන ආදරය ගැන ප්‍රකාශ කරලා.

“එයා එකපාර කැමති වුණේ නෑ. අම්මගෙන් අහලා කියන්නම් කිව්වා. කොහොමහරි ඊට දවස් කිහිපයකට පස්සේ ඇය මට කැමතියි කිව්වා. පස්සෙ අපි කතාබහ කරලා මාස කීපයක් ඇතුළත විවාහ වෙන්න තීරණය කළා. පසුගිය ජනවාරි 17 අපේ විවාහ මංගල්‍යය තිබුණා.”

විවාහය එක්ක අලුත් වුණු අකිලගේ ජීවිතය, ඒ ජීවිතේ ආදරය ගැන අහලා බලන්න අද තරම් ගැළපෙන දවසක් කොයින්ද.

“හිටපු ගමන් බැන්දේ ඇයි කියලා ගොඩක් අය ඇහුවා. ආදරේ කියන එක ප්ලෑන් කරලා ඇතිවෙන දෙයක් නෙවෙයි. මුලිනුත් කිව්වා වගේ මට භාග්‍යා ගැන ආදරයක් ඇතිවුණේ අහම්බෙන්. පස්සේ අපි මාස පහ හයක් ආදරේ කළා. භාග්‍යා කියන්නේ මට ගැළපෙනම කෙනා කියලා එතකොට මට තේරුණා. මොකද ඇයට හොඳින් දේවල් තේරුම් ගන්න පුළුවන්. ප්‍රේමයේ පැවැත්ම තියෙන්නේ අනෙකාව තේරුම්ගන්න පුළුවන් ප්‍රමාණය මතයි. ඇගේ ඒ ගුණය තේරුම්ගත්තට පස්සේ තවත් කල් නොයවා විවාහ වෙන්න මම තීරණය කළා. ගොඩක් අය ආදරේ කරන්නේ විවාහ වෙන්න කලින්නේ. ඒත් අපිට ළඟින් ආදරේ කරන්න ලැබුණේ විවාහ වුණාට පස්සෙයි. ඉතින් මේක ලස්සන හැඟීමක්. ආදරෙන් ජීවිතේ පිරුණම දැනෙන්නෙ මොන වගේද කියන එක මම දැන් විඳිනවා.”

මේ අලුත බැඳපු ජෝඩුවගේ පදිංචිය කඩවත. භාග්‍යා සේවය කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නිසා දෙන්නට එකට ඉන්න ලැබෙන කාලය අඩුයි. දුරස්ථභාවය ආදරේට බාධාවක් නෙමෙයිද කියලයි ඊළඟට අපි අකිලගෙන් ඇහුවේ.

“අපි කොහොම හරි අපිට වෙලාව හොයාගන්නවා. ආදරේ කරන කෙනා වෙනුවෙන් වෙලාව නෑ කියනවා නම් ඒක බොරුවක්. අනිත් කෙනාට හිතේ දීලා තියෙන ඉඩ මතයි ඒක තීරණය වෙන්නේ. කොච්චර දුර හිටියත් අපේ හිත්වල අපිට ඉඩ තියෙනවා.”

භාග්‍යා අකිලගේ ප්‍රථම ආදරේ නෙවෙයි. අකිලත් භාග්‍යාගේ ප්‍රථම ආදරේ නෙවෙයි. ප්‍රථම ආදරේ අවසන් ආදරේ වෙන්න ඕනෙ කියලා අදටත් අපේ සමාජයේ මතයක් තියෙනවා. විශේෂයෙන්ම ගෑනු ළමයින්ට. මේ කතාව ගැන අහපුවහම අකිල සර් දුන්නේ මෙහෙම උත්තරයක්. 

“පළවැනි ආදරේට වඩා අපි ගාව නතර වෙන අවසාන ආදරේයි වැදගත්. භාග්‍යා මගේ ජීවිතේ නතර වුණු අවසාන ආදරේ. ජීවිතේදී අපිට එක එක විදියේ මිනිස්සු මුණගැහෙනවා. ඉතින් හම්බවෙන පළවැනි කෙනාවම බඳින්න හදිසි වෙන්න එපා. හම්බෙන හොඳම කෙනාව බඳින්න. කිහිපදෙනෙක් එක්ක යාළුවෙලා ඒ අයගේ ගතිගුණ ගැන බලන්න. මොකද ගෑනු ළමයෙක් හම්බෙන පළවැනි කෙනාවම බඳින්න ඕනේ කියන අය නෙමෙයිනේ ඊටපස්සේ ඒ පවුල ගෙනියන්නේ. ඒ නිසා පළවැනි ආදරේ නෙවේ හොඳම ආදරේ ගැන හිතන්න.”

ඒ කවුරු කොහොම අපේ ජීවිතවල නතර වුණත් ඇතැම් නොගැළපිම් එක්ක බැඳීම් ඉස්සරහට අරගෙන යන්න අමාරු වෙන තැනුත් එනවා. ප්‍රේමයේ විවාහයේ ඇතිවෙන්න පුළුවන් නොගැළපීම් ගැන ඔහු කිව්වේ මෙහෙම දෙයක්.

“මේ ලෝකයේ කොහෙවත් සීයට සීයක්ම ගැළපෙන මිනිස්සු නෑ. දෙන්නගේ නොගැළපීම් මොනවද කියලා තේරුම් අරන් ඒවා ගළපගන්න එකයි කරන්න ඕනේ. හැබැයි විවාහ වෙන්න කලින්ම ඒක කරගන්න ඕනේ. දෙන්නට දෙන්නව හරියට තේරුම්ගන්න පුළුවන් නම් නොගැළපීම් අඩු කරගන්න ලේසියි. නොගැළපීම් ඇතිවෙන්නේම අනෙකාව හරියට තේරුම් නොගැනීම මත. ඔයා ආදරේ කරන කෙනාට ඔයා කෝටියක් වටින මුද්දක් දුන්නා කියලා හිතන්න. හැබැයි එයාට ඒ මුද්දට වඩා වටින්නේ ඒක දෙන වෙලාවේ ඔයා එයාගේ නළලට දීපු පුංචි හාදුව වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුංචි දේවලුත් තේරුම් අරගන්න. එතකොට නොගැළපීම් ගළපගෙන ඉස්සරහට යන්න ලේසි.”

 

*පෙම්වතුන් විදියට ඉන්නකොට තියෙන ප්‍රේමය විවාහ වුණාට පස්සේ  අඩුවෙන්නේ ඇයි?

“අයිති වුණාම අගය කියන දේ අඩුවෙනවා. ඒක සොබාවිකයි. හැබැයි ඒක එහෙම නොවෙන්න වගබලා ගන්න දෙපාර්ශවයම බුද්ධිමත් වෙන්න ඕනේ. මං ලස්සනට අඳින්න ආස කෙනෙක්. අකිල අයියේ ඔයා ලස්සනට ඉන්නවට මං හරි ආසයි කියලා බිරිඳත් නිතරම කියනවා. මම ලස්සනට ඉන්නවට එයා කැමතියි කියන එක මමත් තේරුම් අරන් ඇගේ කැමැත්තත් ඉටු කරන්න ඕනේ. අනික තමයි ගරු කිරීම. තව අනෙකා වෙනුවෙන් කරන කැපකිරීම්, බොරු නොකරන එක, අගය කිරීම, සමාවදීම, ඇහුම්කන් දීම වගේ දේවලුත් විවාහයට, සාර්ථක ආදර සම්බන්ධයකට තියෙන්නම ඕන දේවල්.” 

අවසානෙට අපි ඔහුගෙන් ඇහුවේ වැලන්ටයින් ගැන. ආදරේ දවසකට සීමා කරන්න බැරි වුණත් ඒ වෙනුවෙන් දවසක් තියෙන එක හොඳයි කියලයි ඔහු කිව්වේ. 

“ලස්සන හිත් තියෙන මිනිස්සුන්ට වැලන්ටයින් කියන්නේ ලස්සන දවසක්. හැබැයි ඒක පසුතැවීමක් නොවන විදියට සමරන්න අපි දැනගන්න ඕනේ. ඉදිරියේදී විවාහවෙන්න ඉන්න අයටත් මං පුංචි දෙයක් කියන්නම්. පුළුවන් නම් ඔයා ගමනක් යන ගමන් සහකරුට සහකාරියටත් සාර්ථක වෙන්න උදව් කරන්න. ඒ අයව තමන්ට වඩා යටින් තියාගන්න ඕන කියලා හිතන්න එපා. අපේ සමාජේ ගොඩක් අයගෙන් මම දකින වරදක් ඕක. දෙන්නම සාර්ථක වුණාම ජීවිතය ජයගත්තු දෙන්නෙක් විදිහට ලස්සන සමබර ජීවිතයක් ගත කරන්න පුළුවන්.”

අකිල සර්ගෙන් පස්සේ ඊළඟට අපි කතා කළේ ඔහුගේ ආදරණීය සහකාරිය එක්ක. භාග්‍යා ආගරරත්න එක්ක කතාබහට මුලපිරුවේ අකිලට කැමති වුණේ ඇයි කියන ප්‍රශ්නෙන්.

“සාමාන්‍යයෙන් ගොඩාක් ගෑනු ළමයි ආදරේ කරන්න කලින් ඉඳලම එයාලා කැමති විදියේ ගතිගුණ තියෙන පිරිමි ළමයෙක්ගේ රූපයක් හිතේ ඇඳගෙන ඉන්නවනේ. ඇත්තම කිව්වොත් අකිල කියන්නේ මං හිතේ ඇඳගෙන හිටපු පිරිමි ළමයා. මං එයාට කැමතිවෙන්න ටික කාලයක් ගත්තත් ‘මෙයා තමයි කෙනා’ කියන එක මගේ හිතේ තිබුණා.”

 

*අකිල ප්‍රසිද්ධ පුද්ගලයෙක් වීම ඒ තීරණයට බලපෑවේ නැද්ද? 

“ඇත්තටම අකිල මට කැමතියි කියද්දි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ. අඩුතරමේ එයාගේ වීඩියෝ එකක්වත් බලලා තිබුණෙ නෑ. මං එයාට කැමති වුණාට පස්සෙයි මම එයාගේ වීඩියෝ දැක්කේ. ඒ වීඩියෝවල ඉන්න අකිලම තමයි සැබෑ ජීවිතේදිත් ඉන්නේ.”

තමන්ගේ ආදරවන්තයා රටේ ප්‍රසිද්ධ චරිතයක් කියලා දැනගත්තම සමහරු ආඩම්බර වෙනවනේ. ඒත් භාග්‍යාට ආඩම්බරකමකටත් වඩා ඒක අභියෝගයක්ලු.

“ලංකාව වගේ රටක ප්‍රසිද්ධ කෙනෙක් එක්ක විවාහ වෙන එක චැලේන්ජ් එකක්. මොකද ලංකාවේ ප්‍රසිද්ධ චරිතවලට නිකරුනේ කටකතා හැදෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අකිලටත් එහෙම දේවල්වලට මුහුණදෙන්න වෙයි කියලා මට හිතෙනවා. ඉතින් බිරිඳ විදියට මං කරන්න ඕන හොඳම දේ ආඩම්බර වෙනවට වඩා බුද්ධිමත්ව කටයුතු කරන එක කියලයි මම හිතන්නේ.”

අකිල ඇය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරන බවත් ඔය අතරේ ඇය කිව්වා.

“රැකියාව නිසා අපි තාම වෙනම ඉන්නේ. හැබැයි එයා මගේ ගැන නිතර හොයලා බලන නිසා ඒක ලොකුවට දැනෙන්නේ නෑ. ඒත් එයා නිතරම ළඟින් නැති එක ගැන හිතට ටිකක් අමාරුයි. හැබැයි දුර හිටියත් එයා මං වෙනුවෙන් සෑහෙන කැපවීම් කරනවා. අපි මුලින්ම මුණගැහුනේ නුවරඑළියෙදි. එයා කොළඹ ඉඳන් මාව බලන්න ආවේ වැස්ස කාලෙක. ඒ ආපු හැටියේ කිව්වේ ‘ඔන්න මං ගිරිදුර්ග තරණය කරගෙන ඔයා බලන්න ආවා’ කියලයි.”

අකිලගෙයි භාග්‍යාගෙයි අලුත් ජීවිතේට සුබපතන ගමන් අවසාන වශයෙන් ආදරණීය පෙම්වතුන් වෙනුවෙන් යමක් කියන්න කියලා ඇගෙන් ඉල්ලුවේ අද පෙම්වතුන්ගේ දවස නිසයි.

“ආදරේ කියන්නේ අපි හැමෝගේම ජීවිතවලට ඕනම දෙයක්. ආදරේ තරම් ලස්සන හැඟීමක් තවත් නෑ. හැබැයි මතක තියාගන්න හැමදේම රඳාපවතින්නේ ඔබ ඒ වෙනුවෙන් තෝරගන්න පුද්ගලයා මත. ඒ නිසා ටික කාලයක් අරන් හොඳම කෙනාව ජීවිතේට ළංකරගන්න. එතකොට කාට වුණත් මැරෙනකල්ම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන්.”

රුවන් එස්.සෙනවිරත්න