නවතම ප්‍රවෘත්ති

අජීවී ගොඩනැගිලිවලට පණ දෙන අමෝදා

ඔබ ගැහැනියකට කුමක් ලබාදුන්නත් ඇය එයට වටිනාකමක් එක් කරනවා.”

ඒ ලෝක පූජිත මහා සාහිත්‍යකරුවෙකු වන විලියම් ගෝල්ඩින්ග්ගේ සුප්‍රසිද්ධ කියමනක්ය.

ඇත්තය. අද ‘ධරණී’ කවරය දරාසිටින සොඳුරු යුවතියද ඒ කියමනට අපුරුවට නිදසුන් සපයන්නීය.

අපිට ඉඩමක් දුන්නොත් ඒකට හරියටම ගැළපෙන විදිහට ගොඩනැගිල්ල සැලසුම් කරලා, ඉදිකරලා දෙනවා. ඒ වගේම හිස් ගොඩනැගිල්ලක් හෝ අවකාශයක් දුන්නොත් ඒකට නිර්මාණාත්මක වටිනාකමක් එකතු කරලා දෙනවා.”

ඈ කියන්නීය.

අමෝදා රත්නායක නම් ඇය ඉතා කෙටි කාලසීමාවක් තුළ ශ්‍රී ලාංකේය ඉදිකිරීම් හා ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ නමක් දිනාගත් සුප්‍රකට සැලසුම් නිර්මාණ ශිල්පිනියක්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන රැසක සැලසුම් නිර්මාණ ශිල්පිනිය ලෙස ඇය කටයුතු කර ඇත.

මගේ පවුලේ හිටියේ අම්මයි, මමයි, අප්පච්චියි විතරයි. මට අවුරුදු පහක් වෙනකොට මගේ අප්පච්චි නැති වුණා. ඉතින් ඊටපස්සෙ මගේ හැමදේම වගේ බලාගත්තේ අම්මා. මම දවසක හොඳ තැනකට යනවා දකින්න අම්මටත් ලොකු හීනයක් තිබුණා.”

අමෝදා කතාවට අවතීර්ණ වූයේ එසේය.

මම පාසල් ගියේ මහනුවර මහාමායා විද්‍යාලයට. පොඩි කාලේ ඉඳලම මම පිහිනීම, මළල ක්‍රීඩා එතනින් ගියහම බාස්කට් බෝල් වගේ ක්‍රීඩා රැසක නිරත වුණා. ඒ කාලේ නම් මට ඕන වුණේ පයිලට් කෙනෙක් වෙන්න. ඒක ටිකක් අවධානම් රැකියාවක් නිසා ඉතින් අම්මා ඒකට අකමැති වුණා. ඊටපස්සේ වෛද්‍යවරියක් වෙන්නත් හීන දැක්කා. හැබැයි ඒ සඳහා මම විදේශගත වෙනවට ඒ කාලේ මගේ පෙම්වතා ඒ කියන්නේ මගේ දැන් සැමියා අකමැති වුණා. ඊටපස්සේ මට කරන්න හොඳම දේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට තමයි ඉන්ටීරියර් ඩිසයිනින්ග් ගැන ඉගෙනගන්න හිතුණේ. ඉතින් මේක මම අහම්බයකින් වගේ තෝරගත්තු වෘත්තියක් කිව්වොත් හරියටම හරි.”

ඈ කියන්නේ සාර්ථකත්වය අවැසිවන්නාට අහම්බයකින් හෝ නිවැරදිම මාර්ගය හමුවන බවය.

ඊටපස්සේ මම ඉන්ටීරියර් ඩිසයින් පැත්තෙන් උපාධිය ලබාගත්තා. හැබැයි මේ වගේ විෂය ක්ෂේත්‍රයක් කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනලා උගන්වන්න බැහැ. ඒක ඇඟ ඇතුළේ තියෙන්න ඕන දෙයක්. ඉතින් මම නොදැනුවත්වම වුණත් ඒ හැකියාව මගෙ ඇඟ ඇතුළේ තිබිලා තියෙනවා.”

සැලසුම් නිර්මාණ ශිල්පී උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඇය ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයකම සේවය කර ඇත.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරතුරේදි ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් ඔවුන්ගේ ඉන්ටීරියර් ඩිසයින් ව්‍යාපෘතියක් පෞද්ගලිකව මට බාරදුන්නා. ඒක තමයි එතෙක් මෙතෙක් මට ලැබුණු ලොකුම ව්‍යාපෘතිය. ඒක ඉතින් මට හිතාගන්නවත් බැරි දෙයක් කිව්වොත් හරි. ඔවුන් මාව ඒ තරම් විශ්වාස කළේ ඇයි කියන එක අදටත් මම දන්නේ නැහැ.”

කෙසේ වෙතත් ඈ කෙරේ ඔවුන් තැබූ විශ්වාසය තක්කයටම නිවැරදි බව සනාථ කිරීමට ඈ සමත් වූවාය.

අමෝදාට ලැබුණු මේ දැවැන්ත ව්‍යාපාතිය වර්ග අඩි 30,000ක පමණ ව්‍යාපෘතියක්ය. ඒ සඳහා වැය වූ මුදල මිලියන 800ක් බව කිවහොත් අමෝදාගේ ඒ ව්‍යාපෘතියේ බරසාර බව තේරුම්ගැනීම පහසුය.

එතකොට මට දැන් වගේ ලොකු කණ්ඩායමක් හිටියේ නැහැ. හැබැයි දන්න කියන ගොඩක් අය ඒ වැඩේට මට උදව් කළා. ඉතින් ඒ ව්‍යාපෘතිය අවුරුදු දෙකකින් සාර්ථකව ඉවර කරන්න මට පුළුවන් වුණා. මං ගැන තිබ්බ විශ්වාසය ගැන ඔවුනුත් සතුටු වුණා. මගේ සේවාලාභීන් ලබන ඒ තෘප්තිමත් බව මට සල්ලිවලටත් වඩා වටිනවා.”

එතැන් පටන් අද දක්වා නොකඩවා ඇයට ව්‍යාපෘති හිමිවන්නේ ඇයගේ දක්ෂතාවයත් කැපවීමත් නිසාය.

මේ වෙනකොට මම ව්‍යාපෘති සියයකට වඩා කරලා තියෙනවා. ඒ අතරේ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන, බැංකු, අධ්‍යාපන ආයතන බොහෝමයක් තියෙනවා.”

අමෝදාගේ සෑම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්ය. ඉදින් ඇයගේ අභ්‍යන්තර සැලසුම් සහ ගොඩනැගිලි සැලසුම් උදෙසා එවැනි ඉල්ලුමක් පැවතීම ගැන පුදුමයක්ද නැත.

ව්‍යාපාරික ආයතනයක් නැතහොත් නිවසක් සැලසුම් කිරීමට සැලසුම් නිර්මාණ ශිල්පියෙකු තෝරාගත යුත්තේ ඇයිද යන පැනයට ඇය පිළිතුරු දුන්නේ මෙසේය.

ඕනෑම කෙනෙක්ට පුටු, මේස ටිකක් එහෙන් මෙහෙන් තියලා යම් ස්ථානයක් සංවිධානය කරගන්න පුළුවන්නේ. හැබැයි අපි කරන වැඩේ ඇතුළේ ඊට එහා ගිය ලොකු ක්‍රියාවලියක් තියෙනවා. කොටින්ම කිව්වොත් අපි කරන්නේ යම් ගොඩනැගිල්ලකට වටිනාකමක් දෙන එකයි. ඒක හරියට පණ නැති දේකට පණ දෙනවා වගේ වැඩක්.”

නිසි තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ගොඩනැගිල්ලකට පෙර නොවූ විරූ නව්‍යමය මුහුණවරක් එක් කිරීමත්, අද්විතීය ආකාරයට ගොඩනැගිලි සැලසුම් කිරීමත් ලෙහෙසි පහසු නොවන බව පැහැදිලිය. යම් ව්‍යාපෘතියක් බාරගත් පසු එය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳවත් ඈ පැවසුවාය.

යම් ආයතනයක අධ්‍යක්ෂවරයෙකුගේ කාර්යාල කාමරය සැලසුම් කරනවා කියලා හිතන්නකෝ. එතැනදී ඔහුගේ පෞරුෂය ඉස්මතුවෙලා පේන විදිහට අපි එතැන සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම ඔහුගේ මානසික සුවතාවයටත් අපි ප්‍රමුඛතාවයක් ලබාදෙනවා. ඉතින් ව්‍යාපාරයක දියුණුවට එහෙමත් මේ දේවල් නිතැතින්ම වගේ බලපානවා.”

අද වනවිට ‘Amoda Rathnayake Associates’ නම් ආයතනයට අමතරව ‘Jaya Builders’ නම් ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතනයක්ද ඈ සතුය.

කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න සෑහෙන කාලයක් ගතවෙනවා. නමුත් අවුරුදු පහක් වගේ කෙටි කාලයකින් මේ ක්ෂේත්‍රයේ නමක් හදාගන්න මට පුළුවන් වුණා. කාන්තාවකට මේ වගේ වෘත්තීන් අභියෝගකාරී කියලා හිතන පිරිසකුත් ඉන්නවනේ. ඕනම දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා නම් ඒකට ගෑනුද පිරිමිද කියන කාරණාව අදාළම නැහැ.”

තමා තනිව ආරම්භ කළ සිය ව්‍යාපාරයට අද වනවිට විශාල කාර්යය මණ්ඩලයක්ද සිටින බව ඕ කියන්නීය.

මගේ ඔෆිස් එකේ මාත් එක්ක වැඩ කරන තරුණ ළමයි එකොළහක් විතර ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් එකෙත් අපිත් එක්ක සියදෙනෙක් විතර වැඩ කරනවා. ආයතන ප්‍රධානියා, සේවකයෝ කියලා අපි අතර කිසි බෙදීමක් නැහැ. අපි හැමෝම එකම ටීම් එකක්. මගේ ඔෆිස් එකේ ඉන්න හැමෝටම වගේ හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. මගේ නිර්මාණයකට වඩා ඒ අයගේ නිර්මාණයක් හොඳයි කියලා හිතුන වෙලාවට මම මගේ නිර්මාණ අයින් කරලා ඒ අයට තැන දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ.”

එසේම සෑම නිර්මාණාත්මක වෘත්තියකටම හොඳ මානසික නිදහසක් අවශ්‍ය බව ඈ කියයි. සංගීතය සහ කලාව එකට මිශ්‍රකර ඇයගේ කාර්යාලය සැලසුම් කිරීමට ඇය යොමුවී ඇත්තේ ඒ නිසාය.

ව්‍යාපෘතියක් කරන්න පටන්ගත්තම මුල ඉඳලා අවසානය වෙනකල් එක එක ගැටළු ඇතිවෙනවා. ඒ ගැටළුවලට විසඳුම් හොයන එකත් මේ වෘත්තියේ කොටසක්. ඉතින් ඒ දේවල් නිසා ප්‍රායෝගික ජීවිතේදී ඇතිවෙන ප්‍රශ්න ගැටළුවලට වුණත් හරිම ඉක්මනට විසඳුම් හොයාගන්න මට පුළුවන්.”

එසේම අමෝදාට මේ කටයුතු සඳහා ඇගේ පවුලෙන්ද නොමඳ සහායක් ලැබෙයි.

අපි ව්‍යාපෘතියක් බාරගත්තොත් හරියටම නියමිත දවසට ඒ වැඩේ ඉවර කරන්න ඕනෙ. ඉතින් ඒ නිසා වැඩ කරද්දි රෑ, දවල් කියලා නැහැ. මට මතකයි එකපාරක් මම දවස් හතරක් විතර නිදාගන්නේ නැතුව එකදිගටම වැඩ කළා. ඉතින් ඒ වගේ තැන්වලදි ගෙදර සහයෝගය නොලැබුණොත් හරිම අමාරුයි. මගේ සැමියාත් ලංකාවේ ප්‍රකට ආයතනයක විධායක අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔහු ඔහුගේ කටයුතුත් සමබර කරගෙන මගේ ගමනටත් ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම මගේ අම්මගෙන් ලැබෙන සහායත් මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා නැත්නම් මම මෙතන නැති වෙන්න ඉඩ තිබුණා.”

අමෝදාගේ ඊළඟ බලාපොරොත්තුව වෙනත් රටවල ව්‍යාපෘතිවලට අතගැසීමය. නුදුරේම ඇය ඇයගේ ඒ සිහිනය වෙත ගමන් කරන බව නිසැකය.

හැමවෙලාවෙම නෑ, බෑ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ක්ෂේත්‍රයකට එන්න හිතන්න එපා. මේ ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න පුළුවන්, හැමදේම පුළුවන් කියලා හිතන කෙනෙක්ට විතරයි. නෑ, බෑ කියන වචන මුළු ජීවිතෙන්ම අයින් කරලා දාන්න. එතකොට මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනම ක්ෂේත්‍රයක ඉහළටම යන්න ඕනම කෙනෙක්ට පුළුවන්.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි