Health

අමුක්කරා මෙච්චර බලවත්ද

2019 පාස්කු ප්‍රහාරය ශ්‍රී ලාංකියන්ට කවදාවත් අමතක වෙන සිදුවීමක් නෙමෙයි. විස්තර හොයලා බලද්දි දැනගන්න ලැබුණේ ඒක මරණින් මතු ස්වර්ගස්ථ වෙලා කන්‍යාවියන් 72ක් ලබාගන්න ත්‍රස්තවාදීන් කරපු අපරාධයක් කියලයි. ඒ ත්‍රස්තවාදීන් විතරක් නෙමෙයි ඒ කාලේ ඊජිප්තුවේ රජකම් කරාපු ටූටකාමන් රජතුමත් මරණෙන් පස්සේ කන්‍යාවියෝ එක්කලා රතිකෙළියේ යෙදෙන්න සිහින දැකලා තියෙනවා. හැබැයි ඉතින් ඒකට උන්දා කාවවත් මරාගෙන මරුනේ නෑ. උන්දා කළේ තමන් කවදාහරි මැරිච්චිදාක මිනිය වටේට අශ්වගන්ධ පැල හිටවන්න කියලා අතවැසියන්ට නියම කරපු එකයි.
 
අශ්වගන්ධ කියන්නේ මොනවද, ඕන් ඊගාවට කට්ටියට පැන නඟින ගැටලුව. මොකද ටික දෙනෙක් දන්නවා වුණාට අශ්වගන්ධ ගැන බහුතරයක් දෙනා දන්නේ නෑ. විශේෂයෙන්ම ගෑනු උදවිය. අශ්වගන්ධ කියන්නේ ආයුර්වේද ලෝකේ බලගතුම ඖෂධයට. ඒ නිසාම ‘ආයුර්වේදයේ රජු’ කියලත් මේ පැලේ හඳුන්වනවා. අපේ සිංහල උදවිය නම් මේව්වට කියන්නේ අමුක්කරා කියලා.
අවුරුදු 6000කට එහා ඉඳලා මිනිස්සු තමන්ගේ ලිංගික ශක්තිය වැඩි කරගන්න අශ්වගන්ධ පාවිච්චි කළා. වත්ස්‍යානගේ කාමසුත්‍රයේත් අශ්වගන්ධ පාවිච්චි කරලා ලිංගික ශක්තිය වැඩි කරගන්න හැටි ලියලා තියෙනවලු. අර කලින් කිව්වත් වගේ ටූටකාමන් රජතුමාගේ පීරමීඩෙනුත් අශ්වගන්ධ පැල හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාවණා රජුගේ කාලේ ඉඳලා අපේ රටේ හිටපු රජවරු පාවිච්චි කරාපු රහස් වාජීකරණ බේත තමා මේක.
 
හැබැයි ඉතින් ඔය රහස් කතා ගැන එහෙම නෙමේ අපි මේ කියන්න යන්නේ. රජවරු වාජීකරණෙට අශ්වගන්ධ පාවිච්චි කරද්දි රැජිනියෝ මෙව්වා පාවිච්චි කරලා තියෙන්නේ සම තිරිහන් කරහන්න.
අශ්වගන්ධ නැත්තම් අමුක්කරා පැලේ මුලින්ම හොයාගෙන තියෙන්නේ හිමාල කන්දෙන්. ඖෂධයක් විදියට පාවිච්චි කරන්නේ මෙව්වයේ මුල්. කොරියාවේ ජින්සෙං මුල්වලට සමාන නිසා මෙව්වට ඉන්දියන් ජින්සෙං කියලත් කියනවා. මේ පැලෙන් අශ්ව පුසුඹක් එනවලු. ඒ නිසාලු අශ්වගන්ධ කියන්නේ.
 
2000 අවුරුද්දේ ඇමරිකාවේ ජාතික ඖෂධ පුස්තකාල ආයතනය (National Institution of Health) අශ්වගන්ධ ගැන රීසර්ච් එකක් කළා. ඒකෙන් තමයි මෙව්වයේ අටෝරාශියක් ගුණ ගැන සුද්දො දැනගත්තේ. අමුක්කරාවේ, විතනොලිඩ්ස් (Withanolides) කියන ප්‍රතිඔක්සිකාරක ගුණේ ඕසෙට. මේ කිව්ව ගුණේට කොලැජන් උත්තේජනය 45%කින් වැඩි කරන්න පුළුවන්. 45%ක් කියන්නේ කජුඇට කොස්ඇටද?
 
ඔය කියාපු ගූණේට අමතරව ඇල්කලොයිඩ්ස් (Alkaloids), සැපොනින් (Saponins) කියන සංඝටකයත් අශ්වගන්ධවල තියෙනවා. කුරුලෑ අඩු කරන්න වගේම ඉරඑළියෙන් සම ආරක්ෂා කරගන්නත් ඔය ජාති දෙකට පුළුවන්.
 
“අශ්වගන්ධවලට චර්ම සෛලවල තියෙන විෂ ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා අපි ළඟට එන ගොඩක් විදේශිකයෝ ඉල්ලන්නේ අශ්වගන්ධ සත්කාර.”
 
ඔහොම කියන්නේ සීල් ගාන්ධි. ඇය ඉන්දියාවේ ප්‍රකට රූපලාවණ්‍ය ආයුර්වේද වෛද්‍යවරියක්. ඔයිට අමතරව සමේ තෙල් අඩු කරන්නත් සමේ තද බව වැඩි කරන්නත් අමුක්කරාවලට පුළුවන් කියලා සීල් නෝනා කියනවා. ඉතින් ලස්සන වෙන්න මෙව්වයෙන් කරන්න පුළුවන් සත්කාර ටිකක් දැන් කියවලා බලමු.
 
ලස්සන වෙන්න අමුක්කරා බොන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔව්වා බීලා වෙන්න පුළුවන් අලකලංචි ගැන වගකීමක් ගන්න බැරි නිසා අශ්වගන්ධ බාහිරින් ආලේප කරන හැටි විතරක් කතා කරන්නම්. ඕනම ආයුර්වේද වෙළඳසැලකින් මේවා මිලදී ගන්න පුළුවන් කියන එකත් කියන්න ඕනේ.
අමුක්කරා පවුඩර් ටිකකට සුවඳ කොට්ටන්, කොකුම් පොතු සහ උරච්චි කරාපු සියඹලා ඇට බාගයක් එක්කාහු කරලා හොඳට මිශ්‍ර කරලා පැක් එකක් වගේ මූණේ ගාන්න. විනාඩි 20ක් තියලා සෝදලා අරින්න. ඔය මොකුත්ම නැතිව අශ්වගන්ධ කුඩු ඇල්වතුරෙන් අනලා මූණේ ගාන්නත් පුළුවන්.
කෝමාරිකා යුෂවලට අමුක්කරා එකතු කරලා හමේ ආලේප කරන්න. එතැනින් ගියාපුවාම එළඟිතෙල්, කිරි, අමුක්කරා කියන්නෙත් සම ඔප කරන කදිම සුසංයෝගයක්.
 
අමුක්කාරා පිටි ඩිංගිත්තකට අරළු කුඩු, උළුහාල් කුඩු, රෝස වතුර එකතු කරලා මූණේ ගාන්න.
හාල්පිටි සුඟකට (ටිකකට) අමුක්කරා කුඩුයි, වතුරයි එකතු කරලා කලවම් කරලා මූණේ ගාන්න.
මූණේ කුරුලෑ තියෙන ළඳක් නම් අශ්වගන්ධ කුඩුවලට මී පැණි මිශ්‍ර කරලා ගාන්න. අමුක්කරා කුඩුවලට සියුම් සීනි ටිකක් එකතු කරලා ස්ක්‍රබ් එකක් විදියටත් පාව්චිචි කරන්න පුළුවන් .