නවතම ප්‍රවෘත්ති

හැඩිදැඩි පිරිමි කීපදෙනෙක් වුණත් එකපාර මෙල්ල කරන හැටි මම දන්නවා

‘‘තාත්තයි අයියයි එක්ක මමත් පොරපූට්ටු අල්ලනවා. (සටන් කිරීම) ඉතින් ඒ නිසා හැඩිදැඩි පිරිමි කීපදෙනෙක් වුණත් එකපාර මෙල්ල කරන හැටි මම දන්නවා. කවුරුහරි පිරිමියෙක් ඇවිල්ලා මගේ අතින් ඇල්ලුවොත් ඒ කෙනාට ගැටයක් දාලා පහරක් එල්ල කරලා කෙහෙල් කඳක් වගේ බිමට ඇදලා දාන්න මට පුළුවන්.’’

දැඩි අධිෂ්ඨානයෙන් යුතුව මුඛරි ලෙස එසේ පවසන්නී ශ්‍රී ලංකාවේ ලාබාලතම අංගම්පොර සටන් ශිල්පිනියයි.

ඇත්තය. මේ ලිපිය සඳහා ආගිය තොරතුරු කතා කරගැනීමට ගිය මොහොතේ ඇගේ දස්කම් සියැසින් දැකගැනීමට මම වාසනාවන්ත වීමි. සුළඟේ වේගයෙන් ආයුධ හරඹ පානු දුටු මොහොතකින් ඇය අතිදක්ෂ අංගම් සටන් ශිල්පිනියක් බව පැහැදිලි විය.

ඇය ශ්‍රී ලංකා යුද හමුදා අනුබද්ධිත ජාතික අංගම්පොර සංගමයේ වර්තමාන අනුශාසක සහ ප්‍රධාන උපදේශකවරයෙකු වන වා.ක.මු.ව. උමේෂ් උක්වත්ත මහතාගේ දියණියයි.

අද ‘ධරණී’ කවරය සරසන දහහතර වියැති මේ හුරුබුහුටි අංගම් ශිල්පිනිය, සමාධි සංකල්පනා උක්වත්තයි.

කිරිබත්ගොඩ, විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ සිසුවියක වන සමාධි, අංගම්පොර සටන් කලාවට යොමුවූයේ ඇයගේ පවුලෙන් ලද ආභාෂය නිසාය.

‘‘මගේ තාත්තා වගේම අම්මත් පාරම්පරික අංගම්​ සටන් ශිල්පීන්. තාත්තා අයියට ශිල්ප පුහුණු කරනකොට මමත් හරි ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. අවුරුදු හතක් වෙනකොට තාත්තා මටත් ශිල්පය දෙන්න පටන් ගත්තා.’’

අංගම්පොර ශිල්ප ක්‍රම පළාත් අනුව ආකාර කිහිපයකට බෙදා දැක්විය හැකිය. සමාධිගේ පියා දකුණු ලකේ අංගම්පොර ශිල්පියෙකු නිසා ඔවුන් ප්‍රගුණ කරන්නේ ඌව වෙල්ලස්ස, හික්කඩුව, වස්කඩුව වැනි ප්‍රදේශවලට අයත් දකුණේ අංගම් කලාව බව ඈ කියන්නීය. එසේම අංගම්පොර ශිල්පය පාරම්පරිකව ඉදිරියට රැගෙනයාමේ උරුමය හිමිවූයේ එකල ඉතා උසස් යැයි සම්මත වූ පරම්පරාවලට පමණක් බවත් ඈ පැහැදිලි කළාය.

‘‘අපි පැවතගෙන එන්නේ වාසලගෙදර කඩුකරවන පරම්පරාවෙන්. ඒ කාලේ රජවාසලේ හිටපු කුමාරවරුන්ට කඩු ශිල්පය ලබාදීලා තියෙන්නේ අපේ පරම්පරාවේ මුතුන් මිත්තන්. ඉතින් ඒ ශිල්ප ක්‍රම පාරම්පරිකව ඉදිරියට ඇවිල්ලා තමයි මගේ තාත්තට ලැබුණේ. ඔහු දැන් ඒ ශිල්ප ඔහුගේ ගෝලයන්ට උගන්වනවා. හැබැයි අතිශය රහස්‍ය ශාස්ත්‍ර පරම්පරාවෙන් පිටට ලබාදීම තහනම්. ඒ නිසා ඒවා උගන්වන්නේ මටයි, මගේ අයියටයි විතරයි. කවදකහරි අපේ දරුවන්ටත් මේ ශිල්ප ලබාදෙන එක තමයි අපෙත් වගකීම.’’

වයසින් කුඩා වුවත් අංගම්පොර පරම්පරා පිළිබඳව මෙන්ම එහි අතීතගත තොරතුරු පිළිබඳව මුහුකුරා ගිය දැනුමක් ඈ සතුය. සීහල අපට ආවේණික එකම කලා ශිල්පය මෙය බවත්, අංගම්පොර ශිල්පයේ ප්‍රබලත්වය වටහාගත් විදේශිකයන් අංගම්පොර ශිල්පය තහනම් කළ අයුරුත් ඈ පැහැදිලි කරන්නේ මෙසේය.

‘‘යටත්විජිත යුගයේදී අපේ සිංහලයෝ විදේශිකයන් එක්ක සටන් කරන්න අංගම්පොර ශිල්ප යොදාගත්තා. විල්වල, වෙල්වල විතරක් නෙවෙයි ගල්තලා උඩදි වුණත් මේ ශිල්ප භාවිතා කරන්න ඔවුන්ට හැකියාව තිබුණා. ඒ වගේම ඔවුන් කිසිම ආයුධයක් නැතුව මරුනිල අල්ලලා විදේශිකයන් සිය ගණන් මරණයට පත්කරලා තියෙනවා. ඉතින් මේ කලාව මොකක්ද කියලවත් හිතාගන්න බැරිවුණු සුද්දෝ මේ ශිල්ප දැකලා තෘෂ්ණිම්භූත වුණාලු. අංගම් එක්ක හැප්පෙන්න බැරි බව වටහගත්ත විදේශිකයන් අංගම් ශිල්පීන් මර්ධනය කරන්න, එක එක උප්පරවැට්ටි දාලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් කොහොමහරි 1818දී අංගම් ශිල්පය තහනම් කරන්න සුද්දන්ට පුළුවන් වෙලා. එදා ඉඳලා අද වෙනකලුන් මේ වටිනා ශිල්පය අපේ රටේ තහනම් ශිල්පයක්.’’

වෙනත් රටවල සටන් ශිල්ප හරි ආදරෙන් වැළඳගන්න බොහෝ උදවියට අපේ උරුමය රැකගැනීමට උනන්දුවක් නැති බව සමාධි පැවසුවේ සංවේදීවය.

‘‘හැබැයි සුද්දෝ අංගම් තහනම් කළා කියලා අපේ ශිල්පීන් පසුබැස්සෙත් නැහැ. ඔවුන් මේක පාරම්පරිකව ඉදිරියට අරගෙන යන්න අපූරු පහේ ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි දේශීය නර්තනයට මේ සටන් කලාව මුහුකරපු එක. එහෙම කරලා තමයි ඔවුන් මේ සටන් ශිල්පය ​අපේ පරම්පරාවලට ලබාදුන්නේ.’’

අංගම් ඉතිහාසය පිළිබඳව සංක්ෂිප්තව අපට පැහැදිලි කළ සමාධි ඇය​ගේ පුහුණුවීම් කටයුතු පිළිබඳවත් මෙසේ සිහිපත් කළාය.

‘‘ඉස්කොලේ යන දවසට නම් පුහුණුවීම් කරන්න ලැබෙන්නේ දවස් දෙකක් විතරයි. පාසල් නිවාඩු නිසා දැන් හැමදාම වගේ පුහුණවීම් කරනවා. ‘බාල සූර්යාකාලය ඒ කියන්නේ උදේ 7-9ත් අතර කාලයේදී තමයි අපි පුහුණුවීම් කරන්නේ. ඉර මුදුන් වෙනකොට අපේ ඇඟේ ලේ ධාවනය වැඩි වෙනවා. එතකොට පුහුණුවීම් කරන එක සුදුසු නැහැ.’’

සමාධි පදිංචි කැලණිය නිවසේ එක් පසෙක අංගම්පොර පුහුණුවීම් වීම සඳහාම ස්ථානයක් නිර්මාණය කර තිබුණි. ඇය එය හැඳින්වූයේ ‘සටන් වැලිපීල්ල’ නමින්ය. වැලිපීල්ලට යාබද පැරණි වලව්වක් වූ එය භාවිත වන්නේ සමාධිගේ පියා සතු ඉතා වටිනා අංගම්පොර අවි ආයුධ ගබඩා කර ඇති කෞතුකාගාරයක් ලෙසය.

‘‘අංගම්පොර ශිල්පයේදී කඩු, පොලු, හෙල්ල, දෑකැත්ත ඇතුළු ආයුධ රාශියක් භාවිත කරනවා. ශිල්පය ආසාවෙන් ඉගෙනගන්න නිසා ආයුධ ගැන බයක් නම් දැනිලා නැහැ. ඒ නිසාමද කොහෙදෝ අද වෙනකල් මට කිසිම අනතුරක් වෙලත් නැහැ.’’

අංගම්පොර සටන් කලා ක්‍රම ශිල්ප කිහිපයක්ම ඇත. ඒ ශිල්ප සියල්ල ලබාගැනීමට නිසි විය එළැඹෙන තුරු බලා සිටිය යුතු බව ඈ කියයි.

‘‘මට තාත්තා තවම ලබාදීලා තියෙන්නේ ආයුධ හැසිරවීමයි, පොරපූට්ටුයි විතරයි. මන්ත්‍ර ශාස්ත්‍රය, නිල ශාස්ත්‍රය එතනින් ගියහම වෙද ශාස්ත්‍රය වගේ ප්‍රබල ශාස්ත්‍ර ලබාගන්න අවුරුදු දහඅටක්වත් සම්පූර්ණ වෙන්න ඕනේ.’’

ඈ දන්නා සටන් ශිල්පක්‍රම හිතුමනාපයට භාවිත කළ හැකිදැයි මා ඇයගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි.

‘‘පළමුව දෙවනුව තෙවනුවත් ඉවසාලා….

ඉතින් කියනු මේ අවුල කාටා..

දඬු බොටුවෙන් පනිමින් අල්ලාලා

මිටි ගුටියෙන් තට්ටුවක් අනිනුයි නිල බලලා…’’

ඈ ඒ පැනයට කවියකින්ම හරි අපූරු පිළිතුරක් ලබාදුන්නේ එලෙසය.

‘‘අංගම්පොර ශිල්පියෙක් කියන්නේ සාමාන්‍ය සටන් ශිල්පියෙක් නෙමෙයි. ඔහු මැනවින් ආධ්‍යාත්ම දියුණු කළ අයෙක්. ඉතින් අපි මේ ශිල්ප භාවිත කරන්නේ ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තැනක් ආවොත් විතරයි. තමන්ට තමන්වත් පාලනය කරගන්න බැරි කෙනෙක්ට එහෙම නම් ​මේ ශිල්ප හදාරන්න අමාරුයි.’’

අංගම් ශිල්පීන්ට ආවේණික විනය, හික්මීම පුරුදු පුහුණු කරනුයේ භාවනා ක්‍රම, යෝගා භාවනා වැනි ක්‍රමවේද මගිනි. එවැනි දේ සමාධිගේ ප්‍රායෝගික ජීවිතයට පවා මනා පිටිවහලක් වන බව ඕ කියන්නීය.

‘‘නිතරම භාවනා කරන නිසා මට මානසික ඒකාග්‍රතාවය පවත්වාගන්න පහසුයි. පාඩම් කරනකොට වගේම විභාග ලියනකොටත් කවමදාකවත් මගේ හිත කලබල වෙන්නේ නැහැ.

එ වගේම අංගම් ශිල්පියෙක්ට උකුස්සෙක් වගේ විමසිල්ලෙන් ඉන්න හැටි, එතකොට කොටියෙක් වගේ සියුම්ව ඇවිදින හැටි, ඊටපස්සේ වඳුරෙක් වගේ වේගයෙන් චලනය වෙන හැටි ඇතුළු සත්ත්ව අංගචලන රාශියක් උගන්වනවා. ඉතින් මේ පුහුණු ක්‍රමවේද නිසා අනිත් ගැහැනු ළමයි ඉදිරිපත්වෙන්න පසුබසින දේවල්වලට වුණත් මම හරි ආසාවෙන් ඉදිරිපත් වෙනවා.’’

එසේම ඈ කියන්නේ වර්තමාන සමාජයේ ජීවත් වීමට නම් කාන්තාවක් මෙවැනි ආත්මාරක්ෂක සටන් ශිල්පයක් උගත යුතුම බවය.

‘‘දැනට නර්තනයට සීමා වෙලා තියෙන අංගම් ශිල්පය නර්තනයෙන් මිදිලා දවසක සටන් කලාවක් විදිහට ඉදිරියට එයි කියලා අපි හිතනවා. ඒ වගේම මේ තහනම ඉවත් කරන්න මගේ පියා ඇතුළු අංගම්පොර ශිල්පීන් කිහිපදෙනෙක්ම උත්සාහ කරනවා. කවද හරි මේ වටිනා හෙල ශිල්පය ලංකාවේ කාන්තා පරපුර අතරට අරන් ගිහින් ඔවුන්ව ශක්තිමත් කරන එක තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව.’’

දස්කම්, විස්කම් පෑමට ස්ත්‍රී-පුරුෂභාවය, වයස හෝ ශරීර ප්‍රමාණය අවැසි නැතැයි මේ පුංචි දියණිය අපට සපථ කර අවසානය. ඉදින් ඇගේ ඉදිරි අරමුණු සියල්ල ජයගැනීමට ඇයට දිරිය ශක්තිය ලැබේවා යන්න ‘ධරණී’ අපෙත් පැතුමයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප ප්‍රදීප් දඹරගේ