විශේෂාංග

පාඩම් කරද්දි මගේ විඩාව නිව්වේ ගෙදර හිටිය පූස් බබාලා

හර්ෂලීගේ පවුලේ උදවිය නුවර සිට නුවරඑළියේ වාසයට යද්දී ඇයට යාන්තම් වයස අවුරුදු දෙක ලැබුවා පමණි. රජයේ සේවකයන් වූ දෙමාපියන්ට ලැබුණු ස්ථාන මාරුව අනුව, හර්ෂලී එරන්දිකා ලක්ශානිට වාගේම ඇයගේ අක්කාටත් අයියාටත් අම්මා තාත්තා සමඟින් නුවරඑළියේ යාමට සිදුවුණි.

එතකොට අක්කයි, අයියයිත් මං වගේම පුංචියි. හැබැයි ඒ දෙන්නා ඒ වෙද්දි ඉස්කෝලේ යනවා. නුවර ගෙදර ඉන්නකොට වගේ නෙවෙයි නුවරඑළියට ගිය අලුත හිතවත් කෙනෙක් හොයාගන්න එකත් ලොකු ප්‍රශ්නයක් වුණාලු. කොහොමහරි ඉතින් අම්මයි තාත්තයි, අයියවයි අක්කවයි ඉස්කෝලේ යවලා වැඩට යන්න ඕනනේ. ඒ වැඩට ගියේ මාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නවත්වලා. හවස එද්දි අම්මයි තාත්තයි මාව එක්කරගෙන එනවා. කොහොමහරි ඉස්කෝලේ බාලාංශ පන්තියට ඇතුළත් වෙන කාලේ ආවම ආයෙත් අම්මටයි තාත්තටයි ප්‍රශ්නයක් ආවා. ඒ වෙද්දි තවදුරටත් මාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නතර කරවන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

ඊට හේතුව නම් හර්ෂලී ඒ වනවිට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය ලැබිය යුතු වයස පසුකර සිටීමයි. නොබෝ දිනකින් ඇයද අක්කාත් අයියාත් මෙන් පාසල් යාමට නියමිතව සිටියත්, ඒ වනතුරු ඇයව දහවල ගෙදර නවතා යාමේ ගැටලුව නැවතත් ඒ මාපියන් වෙත පැමිණියේය.

ඔය අතරේ දවසක් අම්මා ගේ ළඟ කඩේට ගිහින් තිබුණා ගෙදරට ඕන කරන බඩු වගයක් ගේන්න. ඒ වෙලාවේ කඩේ මුදලාලි පූස් පැටියෙකුට බනිනවලු සැමන් ටින් පෙරලනවා කියලා. එදා මුදලාලි අම්මගෙන් අහලා මේ පූස් පැටියව දෙන්නද කියලා. අම්මා ඒකට කැමතිවෙලා පූස් පැටියව ගෙදර ගෙනාවා. එයා මං එක්ක ඉක්මනින් යාළු වුණා. හොඳ යාළුවෙක් වගේ මං යන යන තැන මගේ පස්සෙන් වැටුණා. එයා කළු සුදු පූස් පැටියෙක්. අපි දෙන්නගේ යාළුකම දැක්කම මුලදි මාව තනියම ගෙදර නතර කරලා වැඩට යන්න බයවුණු අම්මගේ හිතේ බය නැතිවෙලා තිබුණා. ඇත්තටම ඒ පුස් පැටියා මගේ තනියට තියලා අම්මයි තාත්තයි වැඩට ගියා.”

ඒ පුංචි හර්ෂලීටත් පූස් පැටියාටත් ඕන කරන කෑමබීම අත පොවන මානයේ තබායි. ඒ වගේම ඇයට ප්‍රවේසමෙන් ගෙදර සිටින්නට උපදෙස්ද අම්මාගෙන් ලැබිණි. ඒ අනුව පුංචි පූස් සුරතලා ඇයව බලාගත්තාටත් වඩා, ඇය පූස් පැටවා පසුපස වැටී අම්මාගේ උපදෙස්වලට කීකරුව උන්නායැයි කීම නිවැරදිය.

මට මතකයි මම හරිම සතුටින් ඒ පූස් බබා එක්ක කාලය ගතකළේ. එයා අපිත් එක්ක අවුරුදු කිහිපයක් හිටියා. මම පහේ පන්තියේ ඉගෙනගනිද්දි තමයි එයා අසනීප වෙලා නැති වෙන්නේ. ඊටපස්සේ අම්මා තවත් පූස් පැටියෙක් ගෙදරට ගෙනාවා. එයාට අපි නම තිබ්බේ සුදු පූසි කියලා. එයා හරිම ආදරණීය පූසියක්. මං ඉස්කෝලේ වැඩ කරද්දි මගේ පුංචි පොත් මේසේ කෙළවරකට වෙලා එයා මගේ මුහුණ දිහා බලන් ඉන්නවා. මට පාඩම් වැඩ කරලා කම්මැලි වෙනකොට මම කරන්නේ එයාට පෑනක් හරි රබර් පටියක් හරි දීලා එයා එක්ක ටිකක් සෙල්ලම් කරන එක. එහෙම ටික වෙලාවක් එයාගේ හුරතල් වැඩ දිහා බලන් හිටියට පස්සේ ආයෙම පාඩම් කරන්න තරම් හිත සැහැල්ලු වෙනවා.

එම සුදු පූසි කිහිපවරක් පැටවුන් ලද අතර ඒ දරු මුණුබුරන් පූස් පරම්පරා කිහිපයක්ම හර්ෂලීගේ ගෙදර හැදී වැඩුණි.

ඔය අතරේ අම්මා පාරේ අසරණ වෙලා හිටිය පූස් පැටියෙක් දැක්කොත් එයාවත් ගෙදර ගේනවා. ඉතින් මේ ගේන හැම සතෙක්ම ඉක්මනින් යාළු වෙන්නෙත්, එයාලට සාත්තු සප්පායම් කරන්නෙත් මම. මගේ මේ පූස් ආදරේ ගැන දැනගෙන හිටිය මගේ ඉංග්‍රීසි ටියුෂන් මිස් ලස්සන පූස් පැටියෙක් දුන්නා. එයාට අපි නම දැම්මේ ස්වීටි කියලා. ස්වීටිටත් ගෙදර හැමෝම ආදරේ වුණා. ඒත් එයා ටික දවසකින් ගෙදරින් අතුරුදන් වෙලා තිබුණා. 2010 අවුරුද්ද. මම එතකොට දහය වසරේ පන්තියේ හිටියේ. මම පාඩම් කරද්දි පොත් මේසෙට පැනලා මගේ බඩු පෙරලන, කඩලා බිඳලා දාන ස්වීටි නැති අඩුව හිතට තදින් දැනුණා. කොහොමහරි මං දුකින් ඉන්නේ කියලා දැනගත්තු ඉංගීසි මිස් මට ආයෙත් පූස් පැටියෙක් ගෙනැත් දුන්නා. ඒ තමයි ඉසබෙලා’.

ඒ වනවිට හර්ෂලී හිටියේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමිනි. රෑ වනතුරු පාඩම් කරද්දී සීතල තදින්ම දැනුණු දවස්ද තිබිණි. එවන් විටක පුළුන් බෝලයක් වන් ඉසබෙලා හර්ෂලී ළඟට තුරුළුව ඈ  පාඩම් වැඩ නිමවනතුරු බලා සිටින්නේ ඉවසිල්ලෙනි.

ඉසබෙලා කියන්නේ හරි අපූරු පූසියක්. මම උසස් පෙළට පාඩම් කරද්දිත් ඇය මගේ තනියට ළඟ හිටියා. ඒ කාලෙ වෙද්දි ඉසබෙලාට චුක්කි කියලා පැටියෙකුත් හිටියා. ඉතින් මං පාඩම් කරද්දි චුක්කි මගේ ඔඩොක්කුවේ හරි පොත් මේසේ කොනකට වෙලා හරි මං ළඟම ඉන්නවා. ඇත්තටම පුදුම සැහැල්ලුවක් ඒ වගේ වෙලාවට හිතට එන්නේ. පාඩම් වැඩ කරා කියලා ලොකු පීඩනයක් හිතට ආවේ නැහැ. මට ඒ කාලෙම තමයි පශු වෛද්‍යවරියක් වෙන්න ඕන කියන හීනය හිතට ආවේ. ඉසබෙලාවයි, චුක්කිවයි දකිද්දි මගේ ඒ හීනය අලුත් වුණා. ඔහොම ඉඳිද්දි 2012 අවුරුද්දේ මගේ තාත්තා හදිසියේම නැතිවුණා. මළගෙදර වැඩ ඉවරවෙලා ගෙදර ආවම අක්කගෙයි මගෙයි ළඟින්ම හිටියේ ඉසබෙලා. අපි දෙන්නා අඬනකොට ඉසබෙලා පුදුම විදියට අපිව සනසන්න උත්සාහ කළා. ඒ ආදරය හරිම පුදුමයි. එයාලට කතා කරන්න බැරි ටික විතරයි.

හර්ෂලීට අදටත් ඉසබෙලා ගැනවත්, ඇගේ දුව චුක්කි ගැනවත් මතකය අමතක වී නැත. ඉසබෙලා මීට වසර ගණනකට පෙර මියගියද චුක්කි 2021 වනතුරුම හර්ෂලීගේ ආදරය විඳිමින්, ඇයටද ආදරය දෙමින් වසර නවයක්ම ජීවත්ව උන්නේය. චුක්කි ඉතිරිකර ගිය පැටියා ‘මොන්ටි’ ය. දැන් හර්ෂලීගේ ගෙදර තනි නොතනියට ඉන්නේ මොන්ටි පමණි.

ඉසබෙලායි, චුක්කියි මැරුණේ අසනීපෙකින් වුණත් මට හිතෙන්නෙ පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමයි ඒ දේ එහෙම වුණේ කියලයි. එහෙම නොසැලකිල්ල නිසා ජීවිත අහිමිවන සතුන් ගොඩක් ඉන්නවා. අපි ළඟ ඉන්න මොන්ටි කොල්ලට දැන් අවුරුදු අටක්. එයා මාස දෙකක්වත් ජීවත්වෙන එකක් නෑ කියලා එකවරක් පශු වෛද්‍යවරයෙක් කිව්වා. කොහොම වුණත් ජීවත් වෙනකල් මොන්ටිව ආදරෙන් බලාගන්නවා කියලා අම්මයි මමයි එදාම තීරණය කළා.

ඒ සිතූ සේම මොන්ටි අද ද ජීවත්වන්නේය. ඒ හර්ෂලීගේ අම්මා සමඟ ගමේය.

පශු වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුවෙන් හර්ෂලී ජීව විද්‍යාවෙන් උසස් පෙළ හැදෑරුවත් ඇයට විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලැබුණේ නැත. ඉන්පසු විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හැදෑරූ හර්ෂලී මේ වනවිට නීති විද්‍යාලයේ අවසන් විභාගය සඳහා සූදානම් වන්නීය. ඒ අතරම රජයේ රැකියාවක්ද කරන ඇය දැනට කොළඹ බෝඩිමක නැවතී සිටින්නීය. එම බෝඩිමේද හර්ෂලීගේ ආදරය ලබන පූස් පැටවියක ඇත. එම පූස් පැටවිය ඇය අහුලාගෙන ආවේද පාරේ අතරමංව සිටියදීය.

මං අදටත් ගෙදර ගිහින් පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම මොන්ටි තමා මගේ ළඟම ඉන්නේ. මං ගෙදර යන දවසට මගේ කටහඬ ඇහුන ගමන් මොන්ටි ඉස්සරහට දුවගෙන එනවා. ඊටපස්සේ මං එයාට මොනාද ගෙනාවේ කියලා බෑග් එකේ තියෙන දේවල් හොයලා බලනවා. මගේ පූසෝ බලාකියාගන්න අම්මා වගේම අක්කයි අයියයිත් මට සහයෝගය දෙනවා.”

හර්ෂලී 2018 වසරේ කොළඹ එනතුරුම නුවරඑළියේ සිටි අසරණ පූසන්ට බල්ලන්ට බොහෝ පිහිට වූවාය. ඉන්පසුව ඇගේ පින්සාර හිතත් පින්කාර දෑතත් දිගුවුණේ අගනුවර අසරණ සතුන් වෙතය. ඒ අනුව ඒ දෑතේ පිහිට ලබා ජීවිත ලස්සන කරගත් සත්තු බොහෝය. කලක පටන් සිහින දැක්කා සේ පශු වෛද්‍යවරියක් වන්නට බැරිවුණත්, නීතිඥවරියක් වී සත්තු වෙනුවෙන් උපරිම සේවයක් කිරීම දැන් ඇගේ බලාපොරොත්තුවය.

බියංකා නානායක්කාර