විශේෂාංග

ගැහැනියක් වුණාම පුළුවන් තරම් සාර්ථකත්වය හඹායන්න ඕන

සමාජ මාධ්‍ය රැල්ලට හසුවී බොහෝදෙනා ගසාගෙන යද්දී ඇය එකී මාධ්‍ය භාවිත කළේ කෙනෙකුගේ හිතට සතුට, සැනසීම ගෙනෙන්නටය. මුහුණුපොතේ ඇගේ අකුරු ඇමිණුම්වලට වැටුනු අය නැගිට්ටවන්නට තරම් පුදුම ශක්තියත් තිබුණි. එසේම කිව යුතු දේ කිව යුතු පරිදි නොසඟවා කීමට ගැහැනියක් වශයෙන් ඈ සතු ආත්මශක්තිය ඉතා ප්‍රශංසනීයය. ‘ධරණී’ පුවත්පතේ බාහිර ලේඛිකාවක්ද වශයෙන් කටයුතු කරන ඇය අනීශා ජයකොඩි ය. මනෝ උපදේශකවරියක්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් මෙන්ම මානව සම්පත් කළමනාකරණ නිලධාරිනියක් ලෙසද කටයුතු කළ අනීශා දැන් ‘තිරසාර කීර්තිනාම තානාපතිවරියකි’. මෑතකදී ලැබුණු මේ නව තනතුරත් සමඟ මේ දිනවල ඇගේ ජීවිතය ගෙවෙන ආකාරය පිළිබඳවයි මේ සංවාදයේ සටහන.

ඉතින් අනීශා කොහොමද ජීවිතේ? පහුගිය දවස්වල සම්මානයකුත් ලැබිලා තියෙනවා අපි දැක්කා. ඒ සම්මානය ගැන විස්තර ටිකක් කියමුද?

ජීවිතේ නම් වෙනදා වගේම ඉතාම සතුටින් ගතකරනවා. සම්මානෙ ගැනත් මම කියන්නම්. 2020න් ආරම්භ වුණ මේ දශකය ලෝකය නම් කරලා තියෙන්නේ තිරසාර සංවර්ධන දශකය කියලා. මොකද අන් කවරදාටත් වඩා සීඝ්‍ර පාරිසරික, ආර්ථික සමාජයීය පරිහානියක් සහ පවතින ස්වභාවික සම්පත්වල සීඝ්‍ර ඌනවීමක් සිදුවෙමින් පවතිනවා.

පවතින තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරි දශක කිහිපය තුළ මුළු ලෝකයටම පැවැත්ම පිළිබඳ දරුණු අවධානමකට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

ඒ ප්‍රධාන ගැටලුවලට විසඳුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෝක සමුළුවේ SUNFO GLOBAL FEDERATION මගින් තිරසාර සංවර්ධන අරමුණු 17ක් වෙනුවෙන් සක්‍රීයව ක්‍රියාකාරී වෙමින් පවතිනවා. එම ව්‍යාපෘතියේ 2020-2030 සඳහා රටවල් සියයකට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ක්‍රියාකිරීමට තිරාසාර කීර්තිනාම තානාපතිවරියක් ලෙස මම තේරී පත්වුණා. ඒ වෙනුවෙනුයි තමයි ඒ තනතුරු සම්මානය ලැබුනේ.

පසුගිය 27 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු උත්සවයේදී මම වෙනුවෙන් මගෙ දෙමව්පියන් තමයි එම සම්මානය ලබාගත්තේ.

මෙහිදී මොනවගේ අරමුණු වෙනුවෙන්ද ඔබ පෙනී සිටින්නේ?

ප්‍රධාන අරමුණු 17කට යටත්ව Zero Hunger, Quality Education, Gender Equality කියන ප්‍රධාන අරමුණු තුන තමයි මම තෝරාගත්තේ.

ඔබට මේ ලැබුන තානාපති ධුරය ගැන මොනවද හිතෙන්නේ?

මට ලැබුන සහ ලැබෙන සියලුම තනතුරු නම්බු නාම මට දැනෙන්නේ ලොකු බරක් විදිහට. ඒ බරෙන් නිදහස් වීම වෙනුවෙන් ඇපකැප වෙලා වැඩකරනකම් මගේ හිතට නිදහසක් නැහැ. ඒක මට පොඩිකාලේ ඉස්කෝලේ පන්ති නායකයා වෙච්ච දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකම්ම දැනෙන හැඟෙන දෙයක්.

ඉතින් මේ තනතුරත් මගේ වැඩ කිරීමේ වේගය වැඩි කරන්න ලැබුන ධනාත්මක උත්තේජනයක් කියලා තමයි මම හිතන්නේ.

ඔබ දැනට විදේශ රටක ජීවත් වෙන්නේ. ලංකාව සමඟ ලංකාව වෙනුවෙන් වැඩකරන්න පදිංචිය බාධාවක් වෙලා නැද්ද?

නෑ. අපි දැන් ජීවත්වෙන්නේ ගෝලීයකරණය වෙච්ච සමාජයක. ඉතින් උවමනාව, කැමැත්ත සහ කැපවීම තියනවනම් ලෝකේ කොහේ හිටියත් වැඩ කරන එක කිසිම ගැටලුවක් නැහැ.

රටින් පිට ඉඳගෙන ලේඛිකාවක්, ගීත රචිකාවක්, උපදේශිකාවක් විදිහට ඔබ මේ ආපු ගමන ගැන කිව්වොත්?

ඒක තනිකරම උඩුගම්බලා පිහිනීමක් කිව්වොත් හරි. මොකද ලේඛනය මගදී නවත්තලා හිටපු මම ඒ ගමන ආයෙත් පටන් ගත්තේ සමාජ මාධ්‍ය හරහා. පිටරටක ඉන්න මට මගේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ළංවෙන්න තිබ්බ හොඳම සහ ලේසිම විදිහ තමයි ෆේස්බුක් සහ Youtube වගේ සමාජ මාධ්‍ය.

නොහිතපු විදිහට ඉතාම ඉකමනින් දහස් ගානක් පිරිසක් මා වටා ආදරයෙන් එකතු වුණා. බිමට බැහැලා ජීවිතය ගැන ප්‍රයෝගිකවම ලියපු නිසා ඒවා ලොකු, කුඩා, තරුණ, මහලු හැමෝටම දැනෙන්න ගත්තා. ඊටපස්සේ ක්‍රමයෙන් දෙස් විදෙස් සඟරා, පුවත්පත් වගේම රූපවාහිනී තිර රචනා, ගීත රචනා දක්වා සේවය දිගු කිරීමට අවස්ථාව ලැබුනා.

දිනෙන් දින වැඩිවන දුරකතන ඇමතුම් නිසාවෙන්ම ඒ ආදරණීයයන්ගේ ගැටලුවලට සහන උපදෙස් ලබාදීම වෙනුවෙන්ම පසුකාලීනව මම උපදේශන මනෝවිද්‍යාව වැඩිදුර හැදෑරීම පවා සිදුකළා.

විවාහක කාන්තාවක් විදිහට, මවක් විදිහට මේ වගේ සමාජ කටයුතු එක්ක සම්බන්ධවන එක පවුල් ජීවිතයට බාධාවක් වෙලා නැද්ද?

ආදිකාලේ දර හොයාගෙන, වී කොටාගෙන, පැදුරු උයාගෙන පලා නෙලාගෙන ඉවුම් පිහුම් කළාට දැන් ඒවා වෙන්නෙ එහෙම නෙමෙයි. තමන් දක්ෂයි නම් උයන්න යන්නේ පැයයි. දරුවෝ මුළු දවසෙම අම්මම බලාගන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒවාට ඕනතරම් ආරක්ෂාකාරී විකල්ප තියෙනවා. නිවසේ හැමදේම කාන්තාවම කළ යුතුයි කියන මතයේ අපි දෙන්නා නැහැ. මම වගේම මගේ ආදරණීය සැමියත් පවුල වෙනුවෙන් එක විදිහට කැපවෙනවා. ඔහුගේ හයිය ඒ ශක්තිය තමයි මට මගේ මේ ගමනට මාර්ගය නිර්මාණය කරලා දෙන්නේ. මනුස්සයෙක් විදිහට ඉපදිලා අවුරුදු 25 වෙනකම් ඉගෙනගෙන, කසාද බැඳපු ගමන් ළමයෙක් හදලා, ඊටපස්සේ කසාදෙ වෙනුවෙන්ම කැපවෙනවා කියන්නේ රටට ලෝකෙට විතරක් නෙමෙයි තමන්ටත් කරගන්න නොකටයුත්තක් කියලයි මම හිතන්නේ. කිසිම ගැහැනියක් විවාහය කියන කාරණාව ජීවිතයට බැරියර් එකක් කරගන්න හිතන්න හොඳ නැහැ. එතකොට තමයි පවුල් අවුල්වෙලා ජීවිත නීරස වෙන්න ගන්නේ.

මම හැම කාන්තාවකටම ඉතා ආදරයෙන් කියනවා මොනම බාධකය ආවත් ඔබට ඔබව අහිමි කරවන්න එපා. ඔබේ උගත්කම අපතේ හරින්නත් එපා. කිසිම පරාජයකට මගහැරීමකට ඔබේ ගමනට බාධා කරන්න දෙන්නත් එපා. හැම දවසක්ම අලුත් දවසක් කියලා හිතලා පුළුවන් තරම් සාර්ථකත්වය හඹායන්න. අන්න එතකොට අද කාන්තාවක් විදිහට ඔබ මුහුණදෙන බොහෝ ආර්ථික සමාජයීය ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු හොයාගන්න පුළුවන් වෙයි.

ධනංජි ඒකනායක