ප්‍රීතිමත් ජීවිතයකට

ඔබත් අලියා කැලේට අතෑරලා හෙණ්ඩුවට පාවඩ එළන කෙනෙක්ද?

අද කියන්නෙත් මම අහපු දැකපු ඇත්තම කතා දෙකක්.

පළවැනි එක මම දන්න අඳුනන කාන්තාවකගේ. කතාවේ පහසුවට ඇයට නිර්මලා කියන්නම්. නිර්මලා බොහොම සුළුවට ව්‍යාපාරයක් පටන්ගත්තා. හැබැයි ඇයට තිබුණේ නිෂ්පාදන දැනුම විතරයි. ව්‍යාපාර කළමනාකරණය ගැන දැනුම තියෙන කාන්තාවක්  මුලදිම ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා. නිෂ්පාදන අලෙවිය, මූල්‍යමය පැත්ත බැලුවේ ඇය. කොහොමහරි දෙන්නගේ කැපවීම නිසා කාලයක් යද්දි ව්‍යාපාරය සෑහෙන දියුණු වුණා. අර කියපු කාන්තාව කලින් දෙපාරක් දික්කසාද වුණු අයෙක්. පස්සෙ නැවතත් ඇය විවාහ වුණා. තුන්පාරක් බැන්දයින් පස්සේ අර කාන්තාවගේ චරිතය නිර්මලාට ප්‍රශ්නයක් වුණා. ඒ අමනාපෙට අර කාන්තාව වැඩ කරපු සිස්ටම් පවා වෙනස් කරලා ව්‍යාපාරේ මුළු ලාබය ඇගේ ගිණුමට හරවගත්තා. සැකේට වගේ එකපාරම එහෙම දෙයක් කරාපුවහම අර කාන්තාවගේ හිත පලුදු වෙලා නිස්කාරනේ සැක කරනවා කියලා රැකියාවෙන් අයින් වුණා. නිර්මලාට මූල්‍ය පාලන දැනුමක් තිබුණෙ නැහැනේ. ඉතින් අර කාන්තාව අයින් වෙලා මාසයයි දෙකයි ව්‍යාපාරය කඩාවැටුණා.

මේක අනිත් කතාව. මම දන්න තව කාන්තාවක් ඉන්නවා. දෙදරු මවක්. සැමියත් බොහොම ගුණවත්. මම දන්න තරමට හම්බ කරපු හැම සතේම වියදම් කළේ ගෙදරට. ඔහොම කරද්දිත් අර කාන්තාව මේ මනුස්සයා හම්බකරන සල්ලි සේරම ගෙදරට වියදම් කරන්නේ නැහැයි කියලා සැක කළා. සැමියගේ වියදම් ගණන් හැදුවා. යාළුවෝ එක්ක බොන්න සල්ලි වියදම් කරයි කියලා එළියට යන එන වෙලාවේ පවා රතු කටු මාර්ක් කළා. ඔහොම කාලයක් යද්දි ඒ සැමියා මානසිකව වැටුණා. අවසානෙදි පවුලත් කැඩුණා.

තමන් අවධානය දෙන්න ඕනා මොනවටද නොදෙන්න ඕනා මොනවටද කියලා බහුතරයක් මිනිස්සුන්ට තේරුමක් නෑ. ව්‍යාපාරයක් කරන්න ගියත් ජීවත්වෙන්න ගියත් අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේට අවධානය යොමු කරන එක පිරිහීමට මුල කියන එකයි ඔය කතා දෙකෙන්ම මතු කරන්න ඕනේ.

හිතන්නකෝ අපි ගමන යන්නේ අලියගේ පිටේ නැගලා නම් අලියගේ වගතුග මිසක හෙණ්ඩුව හදලා තියෙන්නේ මොන ලීයෙන්ද ඒකේ යකඩ කොටස මලකඩ කාලද වගේ දේවල් ගැන හොයලා වැඩක් නැහැ. හැබැයි අපේ උදවිය වද වෙන්නෙම හෙණ්ඩුව ගැන. දැන් බලන්න ව්‍යාපාරයේ ලාබ පෙන්වනවා නම් අර කාන්තාවගේ පෞද්ගලිකත්වය නිර්මලාට අදාළ නැහැනේ. අර සැමියා පවුලේ හැම යුතුකමක්ම හරියට ඉෂ්ට කරනවා නම් තමන්ගේ සතුට වෙනුවෙන් වැය කරන පුංචි මුදල ගැන කරදර වෙන්න හේතුවක් නැහැනේ.

අවශ්‍ය දේට විතරක් අවධානය දීලා අනවශ්‍ය දේ බැහැර කරන්නත් ප්‍රඥාවක්, තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනේ. අපේ ගොඩක් අයට නැත්තේම ඒක. අවශ්‍ය දේට වඩා අදාළම නැති අනවශ්‍ය දේවලට හොට දාලා අන්තිමේට හොට බිම ඇනගන්නවා.

මේක ගොඩක් බිරින්දෑවරුන්ටත් තියෙන ගැටලුවක්. ගෙදර මනුස්සයා කොච්චර ආදරෙන් සැලකුවත් හොඳ කළත් මොකක් හරි පුංචි වරදක් ලොකු කරගෙන මහ විශාල ප්‍රශ්න ඇති කරගන්න ගෑනු ඉන්නවා. කසාදෙට විතරක් නෙමෙයි මේක හැම සම්බන්ධෙකටම බලපානවා. මම දන්න යුවතියක් හිටියා. ඇයට බොහොම ගුණවත් තරුණයෙක් එක්කලා සම්බන්ධයක් තිබුණා. හැබැයි ඔහු අඳින පළදින විදිය ගැන ඇගේ මනාපයක් තිබුණේ නැහැ. ඒ හේතුව නිසාම ඇය සම්බන්ධෙත් නතර කළා. පස්සේ ඇය බැන්දේ හැඩට අඳින කොල්ලෙක්ව. ඔහු කාන්තාලෝලියෙක් කියලා දැනගත්තේ දරු දෙන්නෙකුත් ලැබුණට පස්සෙයි. මනුස්සයෙක්ගේ ගතිගුණවලට වඩා ඇඳුමකට අවධානය දීලා ඈ ලබපු ප්‍රතිඵලය ඒක.

තව හිතන්නකෝ පුංචි කාලේ ඉඳලම දන්න හොඳ යාළුවෙක් ඉන්නවා. ඒ කෙනා අපිට බොහොම උදව් උපකාරත් කරලා තියෙනවා. දවසක් කෝල් එකක් ගත්තහම ඒ යාළුවා කෝල් එක ආන්ස්වර් කළේ නෑ. ආයේ ඇමතුමට පෙරලා කෝල් කළෙත් නෑ. ඔන්න ඉතින් අර මනුස්සයා කළ සේරම එතැනින් ඉවරයි. මුණගැහෙන්න ආවේ නෑ, අර උදව්ව කරලා දුන්නේ නෑ කියලා පුංචි දේවලට අමනාපකම් හදාගන්න එකත් අනවශ්‍ය දේට අවධානය යොමු කිරීමක්. අනික සමහරු මිනිස්සුන්ගේ පෞද්ගලික දේවලින් මනුස්සයන්ව මනිනවා. ඒ කෙනා සමාජෙට කරපු හොඳ වැඩ සීයකට වඩා පෞද්ගලිකත්වයයි ලොකු. අනවශ්‍ය විදියට මිනිස්සුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන මිනිස්සුන්ට සමීපතමයෝ වගේම අවංක බැඳීමුත් නැති වෙනවා. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම සර්ව සම්පූර්ණ නැහැ. හැමෝගෙම පුංචි පුංචි අඩුපාඩු තියෙන එක සාමාන්‍යයි. හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් එක වරදක් කළ පලියට වටින බැඳීමක් නැති කරගන්න එක පාඩුවක්. මනුස්සයෙක්ගේ වුණත් අවශ්‍ය දේ විතරක් දකින්න. මිනිස්සුන්ගේ හොඳ ගලක ලියන්න, වැරදි වැල්ලේ ලියන්න කියලා කතාවකුත් තියෙනවානේ.

මානුෂීය සම්බන්ධතාවලට විතරක් නෙමේ මේ කාරණාව පවුලේ ආර්ථිකයටත් අදාළ කරගන්න පුළුවන්. මුදල් අතින් ගත්තත් ගෙදර අත්‍යවශ්‍ය වියදම් සීයක් තියෙද්දි අනවශ්‍ය වියදමකට ඒ සල්ලි නාස්ති කරන උදවිය කොච්චර ඉන්නවද. ගොඩක් ගෙවල්වල ආර්ථික ප්‍රශ්න ඇතිවෙන්නෙම අවශ්‍ය දේ අනවශ්‍ය දේ තෝරගන්න බුද්ධියක් නැතිකම නිසයි.

මට ව්‍යායාම ටිකක් කරන්න, ලස්සන ගැන හිතන්න වෙලාවක් නෑ කියන කාන්තාවෝ ඕනතරම් මට මුණගැහිලා තියෙනවා. දැන් කාලේ ගොඩක් උදවිය ජංගම දුරකතන වෙනුවෙන් කාලය වැය කරනවා. පුළුවන් නම් අතන මෙතන ටික ටික දුරකතනයට යොදවන කාලය කොළයක සටහන් කරලා එකතු කරලා බලන්න. නැත්තම් රූපවාහිනිය නරඹන වෙලාව ගණන් හදලා බලන්න. එතැනම පැය කිහිපයක් ඇති. ඉතින් එතැන තියෙන්නේ කාලය නැතිකමද? අනවශ්‍ය දෙයක් වෙනුවෙන් වැය කරන කාලය අවශ්‍ය දේකට යොමු කරන්න බැරිකමද?

බහුතරයක් මිනිස්සුන්ට හිතන්න ඕන මොනවද කියලාවත් තෝරබේරා ගන්න බැහැ. සතුටින් ඉන්න පුළුවන් වෙලාවේ බස් එකේ හිටපු මනුස්සයා සීට් එකට රණ්ඩු කරපු හැටියි, අල්ලපු ගෙදර අක්කා මහත් වෙලා කළු වෙලා කිව්ව එක ගැනයි හිත හිතා විඳවනවා. ගොඩක් අය හිත  කලබල කරගන්නෙම මේ වගේ අනවශ්‍යම දේවලට. පස්සේ ඕවර් තින්කින්ග්, ඩිප්‍රෙශන් කියලා ප්‍රතිකාර කරන්න වෙන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ හිතින් හිතන පතන දේවල පවා අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් වෙන් කරගන්න. අදාළ තැනට නිසි අවධානය දෙන එක සාර්ථක පෞරුෂයක ලක්ෂණයක් කියලා ප්‍රවීණ අභිප්‍රේරක රොබින් ශර්මා කියලා තියෙනවා. ඉතින් කිසිම වෙලාවක අලියට වඩා හෙණ්ඩුව ලොකු කරගන්න නම් හිතන්නවත් එපා.

අංජලී බුදවත්ත ජයවර්ධන

මනෝඋපදේශිකා/ මාධ්‍යවේදිනී

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි