නවතම ප්‍රවෘත්ති

කැමති ගාණක් දෙන්න කිව්වා මිසක් මම ඔය කියන තරම් මුදල් ඉල්ලුවේ නෑ – අංජලී හේරත්

මීට අවුරුදු දාසයකට විතර කලින් ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ තරඟයේ සීසන් දෙක අදියරේ සිංදු කියන්න අනුරාධපුර තඹුත්තේගම ඉඳන් පුංචි තරඟකාරියක් ආවා. ඒත් ආසාව, උනන්දුව කොයි තරම් තිබුණත් ඒ පුංචි කෙලි පොඩ්ඩට තරඟේ ඇතුළේ මහ දුරක් යන්න ලැබුණේ නෑ. ඊටපස්සේ තිබුනු තුන්වැනි අදියරටත් ඇය ඉදිරිපත් වුණාට ඒ පාරත් ඇයට සිදුවුණේ කලින් වතාවේ වුණු දේමයි. ඒ එක්ක ඒ පුංචි කෙලි පොඩ්ඩ ආයෙත් අපිට කවදාවත්ම දකින්න ලැබුණේ නෑ. ඒත් ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ එයින් අවුරුදු 15කට පස්සේ පසුගිය අවුරුද්දේ පැවැත්වුණු ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 11 වැනි අදියර ජයග්‍රහණය කරන්න සමත්වුණේ එදා ‘ලිට්ල් ස්ටාර්’ අදියර දෙකෙන්ම ඉවත් වෙන්න සිද්ධ වුණු තඹුත්තේගම අර පුංචි කෙලි පොඩ්ඩ. වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි අංජලී හේරත්. ඇය ප්‍රසංග වේදිකාව සඳහා අය කරන මුදල පිළිබඳව සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මක කතාබහකුත් ඇතිවෙලා තියෙන මේ දිනවල අපි ඇයත් එක්ක ටිකක් කතා කරන්න හිතුවා.

 

*අංජලී මේ ටිකේම ප්‍රසංග වේදිකාව  උඩමයි නේද?

ඔව් රට වටෙන්ම ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. රැකියාවත් කරන ගමන් පුළු පුළුවන් විදියට ඒවටත් යනවා. ඒ වගේම කියන්න ඕන එන මැයි 03 වැනිදා ‘සීමා නෑ’ කියන මගේ අලුත් ගීතයත් මියුසික් වීඩියෝවත් එක්කම එළිදක්වනවා.

 

*අපි දැක්කා අලුත් ගීතයේ මියුසික් වීඩියෝව වෙනුවෙන් ජීවිතේ අවදානමේ දාන හැටි?

(සිනාසෙමින්) ඔව් ඒක බලද්දි තේරෙයි මං කොයිතරම් අවදානමක්ද අරගෙන තියෙන්නේ කියලා. රිවස්ටන්වල තමයි රූගත කළේ. හෙළක් පහළට කඹයක් දාලා ඒ කඹේ දිග අඩි ගාණක්ම පහළට බැහැලා තමයි මං ඒකට පෙනී හිටියේ.

 

*එහෙනම් මරණ බය එහෙමත් දැනෙන්න ඇති නේද?

ඒක නම් හොඳටම දැනුණා. හුළඟට මං හිටපු කඹේ පැද්දෙනකොට තමයි ඒක හොඳටම දැනුණේ.

 

*‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ ජයග්‍රහණයත් එක්ක ජීවිතේ වෙනස්වුණේ කොහොමද?

අදටත් ඒක හීනයක් වගේ. ඇත්තටම කීවොත් ජීවිතේ හරිම සුන්දර විදියට අනෙක් පැත්ත ගැහුවා. ඒ වෙනුවෙන් ‘දෙරණ’  නාලිකාවට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

 

*මේ දවස්වල සමාජ මාධ්‍යයේ අංජලී රැල්ලක් යනවා?

ඔව් ඔව් කවුදෝ කෙනෙක් අනුරාධපුරේ ප්‍රසංගයක් වෙනුවෙන් මං ලක්ෂ දෙකක් ඉල්ලපු කතාවක් එක්ක අංජලී රැල්ලක් යනවා තමයි.

 

*ඉතින් ඒ කතාව ඇත්ත එකක්ද?

මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ. මං කොළඹ ඉඳලා එන්නේ ඒ එක්ක බලලා කැමති ගාණක් දෙන්න කිව්වා. ඒ එක්ක බැලුවම මේක මොන මඩක්ද කියලා මටත් හිතාගන්න බෑ.

 

*එහෙම මඩ ගහන අයට දෙන්න අංජලී ගාව උත්තරයක් තියෙනවද?

මං ඒ අය එක්ක එකට එක කියාගෙන යන්නේ නෑ. දන්න අය දන්නවා මං කවුද කියලා. ඒ නිසා කවුරු මඩ ගැහුවත් මට ප්‍රශ්නයක් නෑ.

 

*කවුරු මොකට මඩ ගැහුවත් ඔබේ රසික රසිකාවියන් ඔබ වෙනුවෙන් පෙනී ඉන්න එක ගැන මොකද හිතන්නේ?

ඒ තමයි මට ඇත්තටම ආදරේ කරන අය. කෙටියෙන්ම කිව්වොත් ඒ අයටත් මං ගොඩාක් ආදරෙයි.

 

*රටේ කොතැන ප්‍රසංගයකට ගියත් අංජලීට ටිපිටිප් හම්බෙනවලු නේද?

(සිනාසෙමින්) ඩ්‍රීම්ස්ටාර් දිනපු කාලේ මල් ලැබුණා. ඊටත් පස්සේ එක එක තෑගි ජාති ලැබුණා. දැන් ටිපිටිප් තමයි. ඒක වුනේ මං දෙරණ ‘මා නොවන මම’ වැඩසටහනේදි කිව්වනේ පොඩි කාලේ ඉඳන්ම ටිපිටිප් කන්න ආසයි කියලා. එදා ඉඳන් කොහේ තියෙන ප්‍රසංගයකට ගියත් ටිපිටිප් නම් වරදින්නේ නෑ.

 

*අසීමිත ජනප්‍රියත්වය කරදරයක් වුණු වෙලාවල් තිබිලා නැද්ද?

එහෙම හිතන්නේ නෑ. හදිස්සි ගමනක් එහෙම යන්න වුණොත් මං මාස්ක් එක දාගෙන යනවා. ඒ වුණාට එළියට බැහැපු ගමන් මාව දන්න අය ළඟට ඇවිදින් කියනවා ‘මාස්ක් එකක් දාගෙන හිටියට අපි ඔයාව ඔය කොණ්ඩෙන් අඳුනගත්තා’ කියලා.

 

*එහෙනම් දැන් කොණ්ඩේ වවමුද?

ඩ්‍රීම්ස්ටාර් අංජලී කියපු ගමන් ගොඩාක් අයට මතක්වෙන්නේ කොණ්ඩේ කපලා ඉන්න අංජලී. ඉතින් මං ආසයි දිගටම ඒ පෙනුමෙන් ඉන්න. අනික මේක පහසුයි.

 

*ඔබේ පෙනුමත් එක්ක රංගනයට එහෙම ආරාධනාවක් ආවොත් අංජලී බාරගන්නවද?

(සිනාසෙමින්) දන්න දේ කරගෙන ඉන්න එක හො‍ඳයි නේද?

 

*ඊළඟට අහන්න හිතුවේ ටිකක් අමාරුවේ දාන ප්‍රශ්නයක්. හිතාගන්න පුළුවන්ද?

(සිනාසෙමින්) මං දන්නවා. අහන්න ගියේ දැන් පෙම්වතියක්ද කියලනේ. උත්තරේ නෑ. හැබැයි දිගට හරහට යෝජනා නම් එනවා. ඒත් මං ආසයි තව අවුරුදු තුනක් හතරක් ඉන්න විදියට ඉන්න. 

රුවන් එස්.සෙනවිරත්න