නවතම ප්‍රවෘත්ති

අඩි 1000ක් උඩ ඉඳලා MI 17 ගුවන්යානයකින් බිමට පැන්න මුල්ම දවස අද වගේ මතකයි

.එම්.පී.නිරෝශා ඩිලානි අබේසිංහ

ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ කාන්තා උප පොලිස් පරීක්ෂිකාකාන්තා පැරෂුට් සෙබළ

‘‘අඩි ගානක් උඩ ඉඳලා බිමට පනින එක ගෑනු කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් හමුදාවේ අපිට අභියෝග බාරගන්න එක අලුත් දෙයක් නෙවෙයි. ඇඳුමේ තරු දෙකක් ගහගෙන, තාත්තාගේ වාසගම පපුවේ ගහගෙන, කැමා ඇඳුමක් ඇඳලා පැරෂුට් එකක් පිටේ එල්ලගෙන ඉන්න එක ඇත්තටම අභියෝගයකට වඩා අභිමානයක්.’’

ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව මහපො‍ළාවට පතිතවීමට තරම් කාන්තාවක් කොතරම් සවිමත්දැයි, එඩිතරදැයි එසේ පවසන්නේ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂිකා ඒ.එම්.පී.නිරෝශා ඩිලානි අබේසිංහයි.

ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකාය නියෝජනය කරන ප්‍රථම පැරෂුට් පැනීමේ සෙබළියන් හතරදෙනාගෙන් අයෙකු වන ඇය අද ‘ධරණී’ කවරය දරා සිටින එඩිතර රූපකායේ හිමිකාරියයි.

මහනුවර අලවතුගොඩ ජාතික පාසලේ ආදි සිසුවියක වන නිරෝශා ඩිලානි මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය ඉතා ඉහළින් සමත් වූ පසුවය.

‘‘මාතලේ විද්‍යා පාසලෙන් තාක්ෂණික විෂයන් හදාරලා පස්සේ මාතලේ තාක්ෂණික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා.’’

තාක්ෂණික අංශයේ අධ්‍යාපනය ලැබූ ඇය උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසින් ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ සේවයට එක්වන්නේ අහම්බයකින් සිතට නැගුනු සිතුවිල්ලක් නිසාය. ඒ 2015 වසරේය.

‘‘සාමාන්‍යයෙන් විශේෂ කාර්ය බළකායේ කාන්තා නිලධාරීන් අඩුයි. මම එකතු වුණු වතාවෙත් සේවයට එකතු වුණේ කාන්තාවන් හතරදෙනෙක් විතරයි. අවුරුදු විස්සකට පසුව තමයි අපිවත් ඒ විදිහට බඳවගත්තේ.’’

විශේෂ කාර්ය බළකායේ සේවයට එක්වූ ඇය මළල ක්‍රීඩා, අත්පන්දු, දැල්පන්දු සහ විශේෂ කාර්ය බළකායට මෑතකදී හඳුන්වා දුන් ස්පෙක්ටක්‍රව් (Spektakraw) වැනි ක්‍රීඩා රැසකද නිරත වන්නීය.

‘‘මේ ක්‍රීඩාවලින් අපි ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබාගෙන තියෙනවා.’’

පැරෂුට් භටයින්ට දීර්ඝකාලීන ඉතිහාසයක් තිබුණද කාන්තාවන් සඳහා පැරෂුට් පැනීම විවෘත වන්නේ තරමක් මෑතකදීය.

‘‘වෙනකොටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් පනින්නියන් කිහිපදෙනෙක්ම සිටියා. 2018දී තමයි පැරෂුට් පැනීම විශේෂ කාර්ය බළකායේ කාන්තා අපිට විවෘත වුණේ. අම්පාර කඳවුරේදී සේවය කරනකොට පාඨමාලාව හදාරන්න කැමති අයගේ නම් බාරදෙන්න කියන පණිවිඩය අපිට ලැබුණා.’’

දැඩි අභියෝගාත්මක අංශයක් වුවත් අභියෝගය නොතකා පැරෂුට් පැනීමේ පාඨාමාලාව සඳහා ඇය යොමු වූයේ ඒ පිළිබඳ ඇතිවූ දැඩි ආශාව නිසා බව ඈ කියන්නීය.

‘‘පැරෂුට් පැනීමේ අංශය විවෘත වන්නේ විශේෂ බළකායන් සඳහා පමණයි. ඒ වගේම විශේෂ කාර්ය බළකායේ මූලික පුහුණුව හදාරා තිබීමත් අත්‍යවශ්‍යයි. ඉන් පසුව මාත් එක්ක තව විශේෂ කාර්ය බළකායේ නිලධාරිනියන් තුන්දෙනෙක් පාඨමාලාව සඳහා එකතු වුණා.’’

පැරෂුට් පනින්නියක් වීම සඳහා නිවැරදි පුහුණුවක් ලබාගත යුතු අතර, එහිදී පිරිමි පැරෂුට් භටයින්ට ලබාදෙන ඉතා අසීරු දුෂ්කර පුහුණුවම කාන්තාවන්ටද එක සේ ලබාදෙයි.

‘‘මුලින්ම පැරෂුට් පැනීම සඳහා අපේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු ද කියලා පරීක්ෂා කරනවා. ඉතා අසීරු පරීක්ෂණයක් වුණත් එය සමත්වෙන්න අපිට පුළුවන් වුණා. ඊටපස්සේ අපිට බිම් මට්ටම් පුහුණුව සහ කුළුණු පුහුණුව කියලා අංශ දෙකකින් පුහුණුව ලබාදෙනවා.’’

බිම් මට්ටමේ පුහුණුවේදී පැරෂුටය නිසි පරිදි හසුරුවා ගැනීම ඇතුළු න්‍යායාත්මක කරුණු කාරණා පිළිබඳව මනා පුහුණුවක් ලබාදේ.

එමෙන්ම කුළුණු පුහුණුවේදී සිදුවන්නේ අඩි 1000ක ඉහළ ඇති කුළුණක ගැටගසන ලද කේබලයක ආධාරයෙන් පැරෂුට පිටේ රඳවාගෙන පොළවට පතිතවීමේ පුහුණුව ලබාදීමයි.

‘‘කිලෝ පහළොවක විතර පැරෂුට් එකක් එල්ලගෙන බිමට පනිනවා කියන එක ලෙහෙසි පහසු නැහැ. වගේම හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්න අතිරේක පැරෂුටයකුත් අපට ලබාදෙනවා. විශේෂම දේ තමයි පැරෂුටය නිවැරදිව හසුරුවා ගැනීම. පැරෂුටය විදුලි රැහැනක එහෙම නැතිනම් ගසක එහෙම වැදුනොත් පැරෂුට් භටයන්ට මාරක අනතුරක් වුණත් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩබෑම ගැනත් ලොකු අවධානයක්​ යොමු කරන්න ඕනේ. නිවැරදි ක්‍රමවේදයට ගොඩබෑම කරගන්න බැරි වුණොත් දෙපාවලට අනතුරු වෙන්න ඉඩ තියෙනවා.’’

නිවැරදි පුහුණුවේ වැදගත්කම පිළිබඳ ඈ පැහැදිලි කළේ එලෙසයි. පුහුණුවීමේ කාලයෙන් පසු පළමු පැනීම සිදුකරන අතර, පැරෂුට් මූලික පාඨමාලාව නිමකිරීමේ ලාංඡනය පිරිනැමෙන්නේ නියමිත පැනුම් වාර ගණන සම්පූර්ණ කිරී‍මෙන් අනතුරුවය.

‘‘මාස එකහමාරක පුහුණුවකට පස්සේ මගේ පළවෙනි පැනීම සිදුකළා. අඩි 1000ක ඉඳලා බිමට පනිනවා කියන එක ඇත්තටම ලොකු අභියෝගයක්නේ. MI 17 ගුවන්යානයකින් තමයි එදා මම පැන්නේ. ගුවන්යානයේ දොර ගාවට යනකොට මම දැන් මේකෙන් පනින්න නේද යන්නේ කියන එක හිත ඇතුළෙන් තදටම දැනුණා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ මට දැනුණු බය ගැන විස්තර කරන්න නම් මට වචන නැහැ. ගුවන්යානයෙන් පැන්න ගමන් තත්පර දෙකක් එකපාරම බිමට වැටෙනවා වගේ දැනෙනවා. එතකොට අර තිබුණු බය දෙගුණ, තෙගුණ වෙනවා. ඊළඟ තත්පරේදී පැරෂුට් එක දිගෑරුණාම අපිව සැහැල්ලු විදිහට පාවෙනවා. ඇත්තටම ඒක හරි අපූරු අත්දැකීමක්.’’

නිරෝශා ඇයගේ පළමු පැරෂුට් පැනීමේ අත්දැකීම පැහැදිලි කළේ එසේය. මූලික පැරෂුට් පාඨාමාලාව නිමකිරීම සඳහා අවශ්‍ය වන්නේ පැනීම් වාර පහක් පමණක් වුවත් පැනීම් වාර 15ක් සාර්ථකව නිම කිරීමට මේ එඩිතර කාන්තාව සමත් වී ඇත.

‘‘පළවෙනි දවසෙම මම ජම්ප් 5ක් කළා. ඊටපස්සේ දින දෙක තුනක් අතුළත තවත් ජම්ප් 10ක් සම්පූර්ණ කළා. පාඨමාලාව අවසාන වුණාට පස්සේ පැරෂුට් භටයන් විසිරයාමේ උත්සවයක් තියෙනවා. එතනදී ගුවන් හමුදාපතිතුමා අතින් අපට මූලික පැරෂුට් ලාංඡනය පැළඳුවා. නිර්භීතව පැරෂුට් පැනීමේ අංශය තෝරගැනීම වෙනුවෙන් වි​ශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීතුමා අතින් විශේෂ ඇගයීමකට ලක්ව සම්මාන ලබාගන්නත් අපිට පුළුවන් වුණා.’’

මේ කර්තව්‍ය වෙනුවෙන් නිරෝශාගේ පවුලේ අය නිබඳවම ඇයට සහාය දුන් බව ඈ කියයි.

‘‘මගේ පළමු පැනීම වීඩියෝ කරලා අම්මට යැව්වම එයා ඒක බලලා ගොඩක් අඬලා තියෙනවා. මගේ අම්මා තාත්තා වගේම මගේ සහෝදර සහෝදරියන් පවා අද මගේ ගැන ගොඩක් ආඩම්බර වෙනවා.’’

රාත්‍රී පැරෂුට් පැනීම, පැරෂුට් පැනීමේ තවත් අභියෝගකාරී අංශයක් වුවත් එයද ඉතා සාර්ථකව සිදුකිරීමට ඇයට හැකි වී ඇත.

‘‘මම රාත්‍රී පැනීමුත් කරලා තියෙනවා. ඇත්තටම මට ඒක අලුත් අත්දැකීමක්. පොළොව හරියට පේන්නේ නැති නිසා මේක සාමාන්‍ය පැනීමකටත් වඩා ත්‍රාසජනකයි. ඉහළ අහසේ ඉඳලා බලනකොට මුළු නගරයම හරි ලස්සනට පේනවා. ලෑන්ඩ් මාර්ක්ස් විදිහට තියෙන ඉටිපන්දම් එළි හොයාගෙන ඒවා අසලට තමයි අපි ගොඩබසින්න ඕනේ.’’

ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ අන්තර් ජාතික පැරෂුට් සංගමයේද සාමාජිකත්වය ලබාගෙන ඇති නිසා නුදුරේම ඔවුන්ට ලෝක මට්ටමේ පුහුණු අවස්ථා සහ තරඟාවලිවලට සහභාගී විමටද අවස්ථාව ලැබෙනු ඇතැයි ඕ කියන්නීය.

නිරෝශා සමඟ විශේෂ කාර්ය බළකායේ පැරෂුට් පනින්නියන් ලෙස සුදුසුකම් ලබාගන්නා විශේෂ කාර්ය බළකායේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා R.A.D.K.පෙරේරා, කාන්තා පොලිස් කොස්තාපල් සුජීවා සඳමාලි සහ පොලිස් කොස්තාපල් 9310 සේනානායක යන එඩිතර නිලධාරිනියන් කාන්තාවන් පිළිබඳවද මෙහිදී මතක් නොකරම බැරිය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප මධුසංක සිරිවර්ධන