ප්‍රීතිමත් ජීවිතයකට

ගොඩක් වෙලාවට ගෑනුන්ට හරි ගියේ වැරදුණු තැනින්මයි

‘ධරණී’ පත්තරයට මම ලියන ලිපිපෙළට විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ගල්, මුල් දෙකම වදිනවා. ඒ දෙපාර්ශවයම හිතන විදිය ඒ ඒ අයගේ පැත්තෙ ඉඳලා බලනකොට සාධාරණ ඇති. ඒ කොහොම වෙතත් අප කතා කරන දේවල් සංස්කෘතියට පටහැනි නැති බවනම් මට සහතික කරලා කියන්න පුළුවන්. ඒ සංස්කෘතියට පයින් ගහගෙන ඉස්සරහට යන්න හදන අයයි අපි කියන ඒවාට රිද්දගන්නේ කියලා මට හිතෙන්නේ. ඉතින්, ඒවා මේවා එහෙම වෙද්දී අද මං කතා කරන්නේ දුවේ ජීවිතය නසාගන්න ඕනෙතරම් දේවල් වෙලත් ජීවිතය රැකගත්ත දුවකගේ කතා වස්තුවක් ගැන.

මේ දුවගේ පෙම් කතාව පටන්ගන්නේ එයාගේ පාසල් කාලයේ. ඒ ඇයගේ පළමු පෙම්වතා. මේ ආදරයට දෙපැත්තෙම ගෙවල්වල කැමැත්ත ලැබිලා තිබුණා. එයා ඇත්තටම හොඳ පෙම්වතෙක්. විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායමේ නායකයා වෙච්ච ඒ ළමයා පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයා. මං කියන දුව ලස්සන අහිංසක දියණියක්. එයාගෙ නම තමයි සුරංගනා.

ඉතින් මේ දෙන්නා ඒ කාලේ ඉඳලම ඇසුරු කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ, මගේ බිරිඳ, ඒ දුව ​ඉගෙනගත්තු  පාසලේ ගුරුවරියක් නිසා. දෙමව්පියන් විතරක් නෙවෙයි ගුරුවරුත් සුරංගනාට බොහොම ලෙන්ගතුයි. විද්‍යාලයේ ශිෂ්‍ය නායක දෙපළක් වන මේ දෙන්නා විදුහලට අගෞරවයක් වන විදියට හැසිරුණේ නැහැ.

ඔය අතර දුවේ 89 කාලකණ්නි යුගය ආරම්භ වුණා. යුද්ධය සඳහා විද්‍යාලවල කැඩෙට් නායකයන්ට කැඳවීම් ලැබුණා. ආදිත්‍ය සුරංගනාගේත් අනුමැතිය සහිතව රටේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා සේවයට එකතු වුණා. ඒ වනවිට සුරංගනා පේරාදෙණිය සරසවියට තේරිලා හිටියේ. ආදිත්‍යත් යුද්ධයට ගියේ රස්සාවකට නෙවෙයි. ඒ කාලයේ ඇතිවෙමින් තිබුණ රට ස්ථාවර කිරී‍ම් අරගලයට දායක වෙන්න. රට පුරා භීෂණය ඇවිලෙද්දි සුරංගනා හිටියේ දැඩි බියකින්. දිනපතා සොල්දාදුවන් මියගියා. දේහයන් උතුරෙන් දකුණට රැගෙන ඒම සිදුවුණා. සුරංගනාගේ පළමු බිඳවැටීම සටහන් කරමින් ආදිත්‍යගේ නිසල දේහය බලාගන්න ඇයට සිද්ධවුණා. ඇගේත් ඔහුගෙත් ආදරණීය සම්බන්ධතාව කොතෙක් දැඩි දැයි කිවහොත් දෙපැත්තේම අය ආදිත්‍යට වඩා බියවුණේ ජීවත්වුණ සුරංගනා ගැන. ඇය භ්‍රාන්තව කල් ගෙව්වා. ආදිත්‍ය වගේ වීරයෙක් ඇයට ලැබෙයිද කියලා ඇයට සැකයි. ඇගේ නිවස තිබුණේ පේරාදෙණිය කැම්පස් එක ළඟමයි. ඒ නිසා ආදිත්‍යගේ මරණයෙන් පසු අම්මා තාත්තා සුරංගනාව පණ මෙන් ආරක්ෂා කළා. එයාව ශාලාවල නවතිනවටත් දෙමාපියෝ අකමැති වුණා. යුද්ධයට යාමට කලින් ආදිත්‍ය ඉස්සෙල්ලම ​අවසර ඉල්ලුවේ සුරංගනාගෙන්. ඒ වෙලාවේ ඒකට විරුද්ධ වෙන්නයි තිබුණේ කියලා හිත හිතා සුරංගනා දුක් වුණා.

කැම්පස් එකේ ​ජෝඩු පිරිවරාගෙන කට්ටිය නාට්‍ය වළේ සෙල්ලම් බලද්දිත් ඇගේ හිතේ හිටියේ ආදිත්‍ය විතරමයි. හැබැයි ටිකක් කල් යද්දී තරුණයෙක් ඇයට ළංවෙන්න ගත්තා. ඔහු කලාකාරයෙක්. අහිංසකයෙක්. දුප්පතෙක්. ඇය තනියෙන් ඉන්න හැම වෙලාවකම ඇගේ පාළුව කපන්න සාරංග උත්සහ කළා. හැබැයි ආදිත්‍ය නැතිවෙලා වසරක් ගියත් සාරංගට බැරිවුණා සුරංගනාට කිට්ටුවෙන්න. මං කිව්වනේ සාරංග කලාකාරයෙක් කියලා. ඔහුට චිත්‍ර, කවි, නාට්‍ය ක්ෂේත්‍රවල හපන් දක්ෂතාවක් තිබුණා. එයාගේ ඒ අහිංසක උත්සාහයට සුරංගනාගේ හිත ගියා. එක දවසක් සාරංගගේ කවිපොතක් නිකුත් වුණ උත්සවයක් කලාගාරයේ තිබුණා. කවිපොතේ දෙසුමක් කරන්න මමත් ගියා. සුරංගනා ඒ වනවිටත් කිසිම බහක් දීලා තිබුණේ නැහැ සාරංගට. ඔහුගේ කවීත්වය මාත් අගය කරා. කවිපොතක් ගහන්නේ මුදල් හම්බ කරන්න නෙවෙයිනේ. තමන්ගේ හැඟීම් කලාත්මකව ප්‍රකාශ කරන්නනේ.

දකුණු පළාතේ නිල්වලා ගංගාවට යාබද ප්‍රදේශයක දිවි​ ගෙවූ සාරංග මේ කවිපොත ලිව්වේ හරිම අමාරුවෙන්. එයා එයාගේ අම්මා, තාත්තටත් ගොඩක් ආදරෙයි. එයාගේ සිතුවිලි කවියට නගන්න සාරංග ළඟ පාතක නැහැ. ඒත් සාරංගගේ සිතුවිලි සහිත කවියක් මට හමුවුණා. එයාගේ අවසරය රහිතවම මම ඒ කවිය සාරංගගේ දුක කීමටත් ඔහුට වෛර නොකරන ලෙසටත් ඉල්ලීමට මං මගේ ලිපියට එකතු කරනවා දුවේ. හැබැයි මේ කවිය ලියා ඇත්තේ මගේ පැත්තෙන් ගත්තොත් දුවෙක්.

 

‘උදේ දාවල් පහු කරන් යන

කැලණි ගඟ සැඩ බල බලා

නිතර නොදකින නමුත් අඩු නැති

උඹේ හැඩ මම සිහි කළා

 

ගමෙන් කොළඹට එන්න හිතුණට

හීනවල බර වැඩිවෙලා

ගම මතක් වී තවත් ඇඬෙනවා

දන්නවද උඹ නිල්වලා

 

අම්ම තවමත් ඉඳිකඩේ ළඟ

ඇතී එන මග බල බලා

දැලි වළංවල පාට තැවරුණ

චීත්තෙන් ඇස් පිහලලා

 

ඉහට උළු නැති අපේ කටුමැටි

පිලට අනුකම්පා වෙලා

වැස්ස වැටුණට නොවී විරසක

හෙමින් ගලපන් නිල්වලා’

 

ඉතින් මේ කවිය අස්සේ සාරංග ඉන්නවා. මම ඒ උත්සව දින කළ කතාවට පස්සේ ​මේ දෙපළත් යාළු වුණා. මට මතකයි මේ අහිංසකාවිය දවසක් සාරංග ලියූ කවිපොත් ගොඩක් උස්සාගෙන මගේ බාහිර පංතියට ආවා. සුරංගනාට එහෙම තැන තැන ඇවිදලා දුක් විඳින්න ඕන නැහැ. වෙස්සන්තරව කැලේට එළෙව්වට පස්සේ මද්‍රී ගියානේ සැමියගෙ දුක සැප බෙදාගන්න වනන්තරයට. අන්න ඒ වගේ අහිංසකකමක් එදා මේ දුවගේ මම දැක්කා. වෙස්සන්තර මද්‍රී දේවියව ශක්‍රයාට දන් දුන්නේ බුදුබව පතාගෙන. ඒත් දුවේ තවම මම නොදන්නා එකම කාරණයකට සාරංග සුරංගනාව අතහැරියත් ඇය රූමත්, කාරුණික, අහිංසක, තරමක් වත්පොහොසත්කම් ඇති පවුලක කෙනෙක්.

ඒත් ඔහු ඇය අතහැරියා. ඒක ඔහුගේ දෛවය මිස සුරංගනාගේ අවාසනාව නෙවෙයි. ඇය ඉතාම වේදනාවටත් කණස්සල්ලටත් පත්වුණා. ඇය දේශනවලට එන එක අතහැරියා. මගේ එක දේශනයකටවත් එයා ආවේ නැහැ. සාරංග නරක ළමයෙක් නෙවේ. ඒත් කාටත් තේරුම්ගත නොහැකි විදියට ඔහු ඇයව මගහැරියා. විභාගයත් අතහැරියා.

ඊට ටික කලකට පස්සේ ඇය මට කතා කළා ගෙදර ඉඳලා. එයා සරසවියම අතහැරියා. එයාට ඕන වුණා මගහැරුණ ප්‍රශ්න පත්තරවලට ආයෙත් ලියන්න. දේශනවලට ආ​වේ නැති හින්දා මට සිද්ධ වුණා දුරකතනයෙන් එයාට උගන්වන්න. එතකොට Zoom තාක්ෂණය තිබුණේ නැහැ. මම ඇහුවේ නැහැ සිද්ධ වෙච්ච දේ මොකක්ද කියලා. ගුරුවරයෙකු ලෙස මට එයාව උපාධිය සඳහා සූදානම් කරවන්න පුළුවන් වුණා. දැන් මේ දුව කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක්. හදිසියේම සුරංගනාගේ මහත්තයා මට කතා කරා එයාගේ විද්‍යාල​යේ ළමයින්ට දේශනයක් කරන්න. මං දැනගෙන හිටියේ නැහැ සුරංගනාගේ මහත්තයෙක් ගැන. එදා ඒ පාසැලේදී වසර දහයකට පස්සේ මට ම​ගේ සිසු දියණිය මුණගැහුනා. දියණියන් දෙදෙනෙක් ඉන්නවා. යහපත් ගති ඇති ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. දැන් එයා හිතුවටත් වඩා හොඳ උසස් ආර්ථික සමාජයීය පසුබිමක ගෞරවාන්විතව ජීවත්වෙනවා. දෙවරක්ම දිවි නසාගන්න ගිය සුරංගනා ගැන ඇගේ සරසවි පෙම්වතා තවම වැළපෙනවා. පසුකලෙක නිල්වලා ගඟ ගලායන පළාතකදී මට ඔහු හමුවුණා.

 

‘වළඳින අදහසින් මෙන් සුරගඟ අඟන

නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන’

(සැළලිහිණිය)

 

මහමුහුද ස්වාමි පුරුෂයාය. ඔහුගේ බිරිඳ ඔහු හැරගිය සුරංගනාය. තමා එදා අතහැරි සුරඟන ලබාගැනීමට මුහුද නමැති පුරුෂයා උඩ පනිමින් සුරඟන අඟන ඇල්ලීමට බලයි. කිසිදාක මුහුදට පහරදී අහසට ගිය අහස් ගඟ අල්ලා ගැනීමට මේ සංසාරයේදි නම් මුහුදට නොහැකිය.

ඉතින් දුවේ ප්‍රේමය අහිමි වීම කියන්නේ ජීවිතේ නැති කරගන්න හේතුවක් නෙවෙයි. අපි කොච්චර අවංකව ප්‍රේම කළත් සමහර අය අපිව දාල යන්නෙ අපේම හොඳට කියලයි හිතන්න තියෙන්නේ. සුරංගනාගෙ කතාවෙන් අපිට ඉගෙනගන්න තියන පාඩමත් ඒකමයි.

අත්තනායක එම් හේරත්