විශේෂාංග

මගේ මහත්තයා ගාව නිදියන්න පුළුවන් එයාගේ අම්මට විතරයි

ජාතක කතා පොතේ කුම්භකාරක ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒ කතාවේ හැටියට බොහොම ආදරෙන් පවුල් ජීවිතේ ගතකරපු තරුණ යුවලක් හිටියා. මේ දෙපළට පුංචි දරු දෙන්නෙක් එහෙමත් හිටියා. කුඹල් කර්මාන්තය කරලා තමයි මේ පවුල ජීවත් වුණේ. ඔහොම ඉන්දැද්දි මේ ගමට පසේ බුදුවරු සතර නමක් වැඩම කරලා තියෙනවා. ගමේ හිටි ගොඩක්දෙනා මේ පසේ බුදුවරුන්ගේ ධර්මය අහන්න ආවා ගියාලු.

අපිත් මේ පසේ බුදුවරුන්ගෙන් බණ ටිකක් ඇහුවොත් හොඳයි කියලා දවසක් මේ තරුණයාට හිතුණලු. ඊටපස්සේ ඔහු බිරිඳවයි දරු දෙන්නවයි අරගෙන බණ අහන්න ගිහින්. බණ ඇහැව්වයින් පස්සේ මේ තරුණයාට ජීවිතේ අනිත්‍ය ගැන වැටහිලා. ස්වාමියාට නොකිව්වට බණ අහපු බිරිඳත් එවෙලේම අනිත්‍ය වටහාගත්තා. ටික දවසකින් මේ සැමියා බිරිඳගෙන් පැවිදි වෙන්න අවසර ඉල්ලලා. ඒ වෙලාවේ ඇය කියලා තියෙන්නේ මේ වගේ කතාවක්.

ස්වාමීනි, දරුවන් සිටින අපට හිතුමතේ තීරණ ගැනීමට නොහැකිය. එසේ වුවහොත් අසරණ වන්නේ හය හතර නොදන්නා දරුවන්ය. කුමන ප්‍රශ්නයක් පැමිණියද අප ඔවුන් ගැන සිතා නුවණැතිව ක්‍රියා කළ යුතුය. ඔබගේ පැවිදිවීමේ අදහසට මගෙන් බාධාවක් නැත. එහෙත් දරු දෙදෙනාට තනිවම යමක්කමක් කරගැනීමට හැකිවන තුරු සිටිය හැකිනම් යහපත්ය.”

බිරිඳගේ කියමන නිවැරදියි කියලා හිතාපු මිනිසා පැවිදිවීමේ අරමුණ ටික කාලයකට යටපත් කරගත්තා.

ඔය අතරේ දවසක් මේ බිරිඳ දරු දෙන්නව සැමියාට බාරදීලා පැන් කළයක් අරන් එන්නම් කියලා කැලයට ගිහිල්ලා. එහෙම ගියපු බිරිඳ ආපහු ගෙදර ආවේ නැහැ. පවුලට ගොඩක් ආදරෙන් හිටපු බිරිඳ ආගිය අතක් නැති එක ගැන සැමියා දුක්වුණා. හැබැයි එහෙමයි කියලා මේ සැමියා බිරිඳ සොර සැමියෙක් එක්ක පලාගියා කියලා ගම පුරා අඬබෙර ගැහුවෙවත්, දරු දෙන්නවත් මරාගෙන මැරෙන්න උත්සාහ කළේවත් නැහැ. ඒ වෙනුවට ඔහු කළේ බිරිඳ නැති දුක හිතේ තද කරගෙන වෘත්තිය කරලා දරු දෙන්නව ජීවත් කරවපු එක.

ඔය විදියට ඔහු අවුරුදු හය හතක් අර දරු දෙන්නව උස්මහත් කරලා තේරෙන වයසට ආපුවහම නෑයින්ට බාරදීලා පැවිදි වෙන්න ගියා.

ඊටපස්සේ දවසක් එතුමා පිඬුසිඟා වඩිනකොට ගිහි කාලේ බිරිඳව මූණටම මුලිච්චි වෙලා. බැලින්නම් ඇයත් ගිහින් තියෙන්නෙ මහණ වෙන්න. ඇයට කලින් ඔහු ඉස්සර වුණා නම් ඇගේ ගමන වළකින නිසා රහසේම ගිය බව තෙරණිය හිමිනමට කිව්වා. තමන් ගෙදරින් ගියාට පස්සේ වුණ දේවල් ගැන නොදන්න නිසා ඇය ඔහුගෙන් මෙහෙම අහලා තියෙනවා.

ඔබ අපේ දරු පැටවුන් දෙදෙනාව මරා දමා ආයේද..? තනිකර දමා ආයේද?”

මරා දැමුවේත් නැත. තනි කෙරුවේත් නැත. තේරෙන වයස වනතුරු රැක බලාගෙන නෑයින්ට භාරදී පැමිණියෙමි කියලයි එතකොට හිමි නම උත්තර දුන්නේ.

අපේ බෝසතාණන් වහන්සේයි, යශෝදරා මහරහත් තෙරණියයි තමයි ඔය කතාවේ අඹුසැමි යුවල. දුවයි පුතායි වෙන කවුරුත් නෙවෙයි උත්පලවණ්ණා මහරහත් තෙරණියයි, රාහුල මහරහතන් වහන්සේයි.

අද අපි කතා කරන්න යන මාතෘකාවත් කුම්භකාරක ජාතක කතාවට ටිකක් සමානයි. කතාවට කලින්ම මේ ජාතක කතාව ගැන ටිකක් මතක් කළේ ඒකයි. ජාතක කතාවට අනුව මව පියා දෙන්නගෙන් කොයි කෙනා මුලින්ම පවුල අතෑරියත් ඉතුරු වුණු කෙනා ඒ පීඩනය දරුවන්ගෙන් පිට කළේ නෑ. හැබැයි මේ වගේ දෙයක් වුණාම අද කාලේ මිනිස්සු කරන්නේ දරුවන්ගේ බෙල්ල මිරිකලා වහ ටිකක් කවලා නැත්නම් ගඟට මුහුදකට තල්ලු කරලා දාන එක. ඔය වගේ කතා එක දෙකක් නෙවෙයි ඕනතරම් පහුගිය කාලේ අපිට ඇහුණා. ඒ අතරේ තාත්තලත් හිටියා වුණාට වැඩිපුරම හිටියේ අම්මලා.

පහුගිය දෙවැනිදා අම්මා කෙනෙක් තමන්ගේ දියණියව ඉස්සෝ කොටුවකට තල්ලු කරලා. මේ මාසෙම පෝය දවසේ තව අම්මා කෙනෙක් දරුවෝ දෙන්නවත් අරගෙන ළිඳකට පැනලත් තිබුණා. ඉස්සෝ කොටුවට තල්ලු කරපු අර දුව නම් තාමත් දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනකලු. අවාසනාවකට අර ළිඳට පැනපු අම්මගේ වැඩිමහල් දරුවා එතැනම මිය ගිහිල්ලා. අපේ අම්මලාට මෙහෙම වුණේ ඇයි කියන එක ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක ඒම හේරත් මහතා සමඟයි.

———-

 

ඔය ගැන රට්ටු එක එක විදියේ කතා කියනවා. බඩු මිල අහස උසට ගිහින් නිසා දරුවන්ට කන්න දීගන්න බැරුව මැරෙනවලු. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න මොනවාම හරි සාධාරණ හේතු ඇති කියලා තව අය කියනවා. මේ අය මානසික ලෙඩ්ඩු කියලා කියන අයත් ඉන්නවා. හැබැයි මගේ තර්කය නම් ඕකට හේතුව ඔය එකක්වත් නෙවෙයි. අපේ අවාසනාවකට මන්දා අද ඉන්න ගොඩක් අම්මලාට එදා වගේ දරු සෙනෙහස ඇඟටවත්, හිතටවත් බද්ධ වෙලා නෑ. ඒවට හේතුත් තියෙනවා. සමහරක් අම්මලා දරුවෝ බඩට ආපු දා ඉඳන් ඒක මහා කරුමයක් විදියටමයි සලකන්නේ. දරුවා බඩට ආපු දවසේ ඉඳලා මට බඩක් දීලා අරූ කුරුල්ලා වගේ රෝන්දේ යනවා කියලා මනුස්සයාට වෛර කරන්න ගන්නවා. එතැනින් නවතින්නෙ නෑ. දරුවා ලැබුණට පස්සෙත් පපුව එල්ලෙනවාය, ඇඟ කැත වෙනවාය කියලා හරියට කිරි ටික දෙන්නෙත් නෑ. අඩුතරමේ නැළවිලි ගීතයක් දන්නෙත් නෑ. සමහර අම්මලා දරුවා ලැබිලා මාසෙ දෙක යනකොට ඒ දරුවව තමන්ගේ අම්මට, නැන්දම්මට පුරුදු කරලා වෙන අතක් බලාගන්නවා. දරු කැක්කුමක් කියලා එකක් ගෑවිලාවත් නැති අයත් ඉන්නවා. ඊටපස්සේ ප්‍රශ්නයක් වුණ හැටියේ දරුවන්ව බලු පැටව්, බළල් පැටව් ගාණට ළිංවලටයි, ඉස්සෝ කොටුවලටයි අතඇරලා දානවා. කොහොම වුණත් මේ අයගෙන් බහුතරයක් මානසික ලෙඩ්ඩු නෙවෙයි කියන්න මගේ ළඟ ඕනතරම් උදාහරණ තියෙනවා.

ඒ අතරින් එකක් කියන්නම්. මේ ළඟදි මට කතා කළා අවුරුදු 35ක කාන්තාවක්. ඇය විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 28න්. විශ්වාස කරන්න මේ වෙනතුරුත් ඇය තමන්ගේ සැමියා එක්ක එක කාමරේක එක ඇඳක නිදාගෙන නැහැ. ඒ වෙනුවට නැන්දම්මලු සැමියා ළඟ නිදාගන්නේ. ඒකට හේතුවත් ඇය මාත් එක්ක කිව්වා.

ඇගේ සැමියා අවුරුදු 15ක් විතර වෙනකල් නිදාගෙන තියෙන්නේ ඔහුගේ පියාට තුරුල්වෙලා. ඉතින් අර අම්මට ඒ කියන්නේ නැන්දම්මට ඇගේ තරුණ ජීවිතෙන් බාගයක්ම ඉන්න වෙලා තියෙන්නේ සැමියාගෙන් වෙන්වෙලා. ඇය නිදාගෙන තියෙන්නේ වෙන කාමරයක. ඒ නිසා ඇය පුතාට සෑහෙන වෛර කරලා.

දවසක් මේ නැන්දම්මා පුතා නැති වෙලාවක තරුණ බිරිඳට මෙහෙම කතාවකුත් කියලා තියෙනවා.

තොගේ මිනිහා මට මගේ මිනිහා ළඟ නිදාගන්න දුන්නේ නෑ. ඒ නිසා මට තව දරුවෙක්වත් හදන්න ලැබුණේ නැහැ. දැන් බලපිය මමත් මැරෙනකම්ම තොපි දෙන්නට එක ඇඳක නිදාගන්න දෙන්නෙ නෑ.”

ඉතින් බලන්න මේක මානසික ලෙඩක්ද? එහෙම වෙන්නත් පුළුවන් කියලා සමහරු හිතනවා. හැබැයි මට අනුව නම් මේක නැන්දම්මා දරුවාගෙන් පලිගන්න සැලසුම්සහගතව කරපු අමන වැඩක්.

දැන් කාලේ මහඋන් මෙහෙම රැල්ලට වගේ දරුවො මරාගෙන මැරෙන්නේ රටේ ලෝකේ උනුත් අතකට බැඳගෙන ඒ දිහා බලාගෙන ඉන්න නිසා කියලයි මම හිතන්නේ.

ඒකටත් මම උදාහරණයක් කියන්නම්. ඇහැලේපොළ කුමාරිහාමිට එදා මද්දුම බණ්ඩාරගේ බාල නංගිව වංගෙඩියට දාලා කොටන්න සිද්ධවුණානේ. නමුත් එතැනින් එහාට රජා කළ දේට රට්ටු නිකන් හිටියද? නෑ. ඒ විදියේ කෲර අණක් දීපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ව සිංහාසනෙන් එළවලා දැම්මා. රජ මාලිගාව ඉස්සරහට ගිහිල්ලා කෑගැහුවා. අන්තිමට රජ්ජුරුවන්වයි ඒකට උඩගෙඩි දීපු අනිත් උන්වයි සේරම ගහලා පන්නලා දාලයි මිනිස්සු පස්ස බැලුවේ. ඒ විතරක් නෙවෙයි මුළු රටේම ගෙවල්වල මාස ගණන් බත් හැලි ඉදුනේ නෑ. මිනිස්සු ඇඬූ කඳුළින් කම්පා වුණා. හැබැයි අද වගේ උදවිය නම් එදා හිටියේ, අනේ අර අහිංසක රජ්ජුරුවන්ට මානසික ආතතිය කියලා නිකන් ඉඳීවි.

අවසානයේ මගේ තර්කය වෙන්නේ මෙන්න මේකයි. මිනිස්සු වුණ අපි හැමෝටම ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අහිංසක දරු පැටවුන්ව මරලා දාලා ඒවට අමුතු හේතු සපයන උන්දැලාට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. තමන්ගේ මිනිහා එක්ක කෝන්තර පිරිමහන ගෑනු උදවිය දරුවන්ව ඉස්සො කොටුවලටයි, ළිංවලටයි, ගඟවල්වලයි අතෑරලා ඇවිල්ලා අන්තිමේදි බබ්බු වගේ මගේ මිනිහා ගහනවා, මිනිහට හොර ගෑනියෙක් ඉන්නවා කියලා කියනවා. ගෑනු විතරක් නෙවෙයි සමහර පිරිමිත් එහෙමයි. දරුවෙකුට කන්න දීගන්න බැරිනම්, තනියම හදාගන්න බැරිනම් මේ රටේ ඕනෙතරම් ආයතන තියෙනවා, හදාගන්න බැරිනම් දරුවන්ව එහෙම තැන්වලට බාරදෙන්න. එහෙම බාරදීලා යන දේවාලෙක යන්න.

 

ලිහිණි මධුෂිකා