ප්‍රීතිමත් ජීවිතයකට

කොච්චර ලොක්කියෙක් වුණත් අයියා හොයලා දෙන කෙනෙක්වයි මම බඳින්නේ

මේ කියන්න යන දැරිය මට මුණගැහුණේ පොල්ගහමුල අධ්‍යාපන ආයතනයේදී. ඇය පංතියේ පිරිමි ළමුන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වුණු දුවක්. පංතියේ විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වල මේ දුව නොහිටියානම් ඒක ලොකු පුදුමයක්. ඉතින් මේ දුවට ඉගෙනගන්නත් ලොකු උනන්දුවක් තිබුණා. පංතියේ පිරිමි ළමයි එයාගේ පස්සෙන් එනකොට එයා එක්කෝ ඒක විදුහල්පතිතුමාට කියනවා, නැත්නම් මට කියනවා. ඉතින් දවසක් මම කිව්වදුව ඔයා වැඩිහිටියෙක්. උපාධි පංතියෙන් පිරිමි ළමයෙක් හොයාගත්තොත් ඔයාට එක සමාන කල්පනා ඇති කෙනෙක් ලැබෙයි කියලා. ඒ දුව කිව්වා අපේ අම්මා ජීවතුන් අතර නෑ, තාත්තත් නෑ. අයියා තමයි මාව බලාගන්නේ. මම මොන උපාධිය කරත් මම බඳින්නෙ අයියා කැමති වෙන කෙනෙක්. එයා මොන රස්සාව කළත් මං අයියගෙ අණට යටත්කියලා.  මං ඒ දුවට ඒ අදහස කිව්වා මිසක් ඒ ගැන බල කර කර කියන්න ගියේ නැහැ.

ඕනෑම දරුවෙක්ගේ ඉරණම විසඳෙන්නේ ඒ දරුවගෙ කැමැත්තට. ඒ හින්දා මං ඒකට ඉඩ දීලා හිටියා. කාලය මෙහෙම ගෙවිලා ගියා. ඊටපස්සේ මේ දුව ගැන එක්තරා ගුරුවරයෙක් උනන්දු වුණ. ඒ ගුරුතුමා පංතියට ආවේ බස් එකක. එතුමා උගන්වපු විෂය මේ දුව ඉගෙනගත්තෙත් නැහැ. ඒ වගේම මේ ගුරුතුමා විවාහක කෙනෙක්. මම ඒක ඒ දුවට කිව්වා. ඊටපස්සේ ඒ ගුරුවරයා මගඇරලා ගෙදර යන්න මේ දුවට ගොඩක් මහන්සි වෙන්න වුණා. ඒ දුව කළේ ඒ ගුරුවරයා යනකල් පංතියට වෙලා ඉන්න එක.

දවසක් මම දුවට කියලා දුන්නා සද්ධර්මරත්නාවලියේ ‘උග්ගසේන සිටු පුත්‍රයාගේ කතාව’. පංතියේ ළමයි හැමෝම ඒ කතාව අහගෙන හිටියා. එක්තරා විජ්ජත් කුලයක නැටුම් ගැයුම් සර්කස් දන්න දුවෙක් හිටියා. එයා හරිම ලස්සනයි. ඉතින් ඔය සර්කස් බලන්න උග්ගසේන සිටු පුත්‍රයත් ආවා. ඇය ඉහළ ආකාසේ දිග රිටක නැගිලා කරන සර්කස් දැක්කම උග්ගසේනට ආසා හිතුණා ඇගේ රූපයට.

‘පාරට අද්දර දෙල් ගස මුදුනේ දෙල් නෙළනා ළඳ මට පෙනෙනා’

කියන ජන කවිය මතක් කරලා මං කිව්වා ස්ත්‍රියක තම ස්ත්‍රී චමත්කාරය ඒ විදියට පෙන්වනකොට පිරිමි තුළ ගෘංගාරය උපදිනවා. ඉතින් උග්ගසේනට ආවෙත් ඒ දර්ශන ශෘංගාරය. ඉතින් එයා ගෙදර ගිහිල්ලා නොකා නොබී වැතිරිලා හිටියා. අම්මා තාත්තා ඇහුවම එයා කිව්වා අර විජ්ජත් කුල කාන්තාව මට ඕන. සිටුවරු මේ වගේ කසාදවලට කැමති නැහැනේ. දෙමාපියෝ විරුද්ධ වුණා. ඒත් උග්ගසේන නොකා නොබී ඉන්නකොට දෙගොල්ලම එකතුවෙලා දෙන්නව බන්දලා දුන්නා.

තමන් බැන්ද මිනිහට සිටු තනතුර හැර වෙන කිසිම රස්සාවක් නැහැ. විජ්ජත් කාන්තාවට බබෙක් හම්බවුණා. එයා දරුවා නලවන්නේ,

‘මොකක්වත් බැරි එකාගේ බබා නැලවියන්

කරත්ත දක්කන්න පුළුවන් එකාගෙ බබා නැලවියන්’

කිය කියා. තරුණයාට ලැජ්ජා හිතුණා. තම සිටු තනතුර අතහැරිය ඔහු බිරිඳ මරන්න හැදුවේ නැහැ. බිරිඳට ගැහුවෙත් නැහැ. එයා තමන්ගේ මාමණ්ඩිට කියලා බිරිඳ දන්න සර්කස් සාත්තරය ඉගෙනගෙන අන්තිමට තම බිරිඳටත් වඩා දක්ෂ සර්කස්කාරයෙක් වුණා. උග්ගසේනගේ සර්කස් බලන්න බුදු හාමුදුරුවොත් වැඩියා.

මම මේ කතාව කිව්වම අර දුව මට කියනවා මාත් සර් අයියා හොයලා දෙන කෙනෙක්ව බඳිනවා. ඊටපස්සේ එයාට පුංචි පුංචි අභියෝග කරලා මං එයාව මටත් වඩා හොඳ තැනකට ගේනවා කියලා. මං ඉතින් ඒකට ආශිර්වාද කළා. ඉතින් මේ දුව උපාධිය සමත් වුණා. අයියා හොයලා දුන්නේ උපාධියක් නැති තරුණයෙක්ව. දැන් ඇය ගුරුවරියක් විදියට වැඩ කරනවා. උපාධියක් නැති වුණාට එයා හොයාගත්තේ එයාට ආදරය කරන උතුම් මනුෂ්‍යයෙක්. මොකක්හරි එයාගේ වරදකට මේ දුව විරුද්ධ වුණොත් ඒ පුතා ඒ වරද කිසිදාක කරන්නේ නැහැ. ඇත්තටම මම දැකලා තිබුණු හොඳම අඹුසැමි දෙන්නා මගේ අම්මයි තාත්තයි. මං ඊළඟට එහෙම අඹුසැමි යුවළක් දැක්කේ මේ උපාධිධාරී දුවගෙන්.

මගේ අම්මාට මගේ තාත්තා සැලකුවේ රැජිනකට වගේ. මේ පුංචි උපාධිධාරිනියත් මගේ අම්මා වගේ තම සැමියාගේ වැරදිවලින් එයාව ගලවගත්ත කෙනෙක් වගේ වැඩ කරනවා. ඉතින් මගේ දුවේ පිරිමි හදාගන්න ඕන හොඳම ක්‍රමය ඒක කියලයි මට හිතෙන්නේ. එහෙම නැතුව සැමියාට අපහාස කිරීමෙන් හෝ තලා පෙලා දැමීමෙන් නෙවෙයි ඒක කරන්න ඕන. ඉතින් ඒ පාඩම දුව ඉගෙනගත්තේ සදර්ධර්මරත්නාවලියෙන්. ඒ නිසා පුළුවන් විදියට ඔය අතීත කතා කියවලා බලන්න කියලා මං මේ දුවලගෙන් ඉල්ලනවා.

විවාහ වෙන්න ඕන පෙනුමට, වත්පොහොසත්කමට නෙවෙයි දුවේ. තමන්ගේ හිතට ගැළපෙන කෙනා එක්ක. මේ සිද්ධිය කියනකොට මට තව කතාවක් මතක් වුණා. දවසක් මං කැනඩාවට ගියාම එහේ කලා උළෙලක් තිබුණා සිංහල ළමයින්ට. අටේ පංතියේ දුවෙක් මගෙන් ඇහුවා සර් අපට මොළ දෙකයි, අත් දෙකයි, පා දෙකයි, බඩවැල් දෙකයි, ඇස් දෙකයි, කන් දෙකයි, වකුගඩු දෙකයි, පෙනහලු දෙකයි තියෙනවා. ඇයි සර් අපට එක හෘදය වස්තුවක් තියෙන්නේ?” කියලා. ඒ දුවගේ උත්තරය තමයි එක හෘදය වස්තුවක් මවලා තියෙන්නේ ඒකට ගැළපෙන අනෙක් එක හොයාගන්න කියලලු. ඉතින් තමන්ගේ ඇතුළේ තියෙන හෘදය වස්තුවට සමාන හෘදය වස්තුව එළියේ කා ළඟ හරි තියෙනවා. සල්ලි බලාගෙන ගියොත්, ඉඩම් බලාගෙන ගියොත් සමහරවිට ඒක හම්බනොවෙන්න පුළුවන්. ඉතින් තමන්ට ගැළපෙන හෘදය වස්තුය ඇත්තෙ කා ළඟද කියලා විමසිල්ලෙන් හොයලා බලන්න. ඇත්තටම දුවේ ‘හෘදය’ කියන්නේ ‘වස්තුවක්’. අපි අපේ ශරීරයේ වෙන කිසිම දේකට වස්තුව කියන්නේ නෑනේ. ඒ නිසා තමන් හොයාගන්න අනික් හෘදය වස්තුවත් තමන්ගේ හෘදය වස්තුව පරිස්සම් කරන්න පුළුවන් විදියේ එකක් වෙන්න ඕන.

අත්තනායක එම්.හේරත්