ප්‍රීතිමත් ජීවිතයකට

තාත්තා නොබී ඉන්න හැදුවත් අම්මා ඒකට ඉඩ දෙන්නෙ නෑ

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩහිටපු කාලේ වතාවක් අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාධනයකට එතුමාගේ සිටුමැදුරට වැඩම කරලා තියෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේට දුර තියාම සිටුමැදුරෙ ඉඳන් කාන්තාවක් යටිගිරියෙන් කෑගහන සද්දෙ ඇහුණලු. ඇහුණත් වගේම සිටුමැදුර ඇතුළට යනකොට එතැන එකම ගාලගෝට්ටියක්ලු. අර කාන්තාව කෑගහන සද්දෙට වඩා ඉහළින් සිටුමැදුරේ සේවකයොත් කෑගහනවලු. ඔය අලකලංචි අස්සේ කන් දෙකේ ඇඟිලි ගහගෙන හිටපු අනාථපිණ්ඩික සිටුතුමා බුදු හාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා කිව්වලු අනේ භාග්‍යවතුන් වහන්ස මට වෙච්ච වින්නැහියක් බලන්නකෝ කියලා.

ඒ වෙලාවේ බුදුන් වහන්සේ සිටුතුමාට කියලා තියෙනවා ගෘහපතියනි, අද ඔබේ සිටුමැදුර මසුන් විකුණන තැනක් වගේකියලා. ඒ විතරක් නෙවෙයි අර සිටුමැදුර ඇතුළෙ මසුන් විකුණන කාන්තාවක් වගේ යටිගිරියෙන් කෑගහන කාන්තාව කවුද?” කියලත් ඇහුවලු.

බුදු හාමුදුරුවෝ විතරක් නෙවෙයිනෙ, මහ හයියෙක් කෑකොස්සන් ගහන මිනිස්සු ඉන්න තැනකට ගියාමඅපෝ එතැන නම් මාළු කඩේ වගේකියලා අපිත් කියනවනේ. හැබැයි අනාථපිණ්ඩික සිටුතුමාට වෙලා තිබුණේ වෙනම වින්නැහියක්.

අනේ ස්වාමීනි, මේ ළඟදි මම ධනංජය සිටුතුමාගේ බාල දුව සුජාතාව කරකාර බැඳලා කැන්දගෙන ආවා. බැන්දට පස්සේ තමයි උන්දැගෙ කටේ තරම ගැන දැනගත්තේ. එයා මට විතරක් නෙවෙයි මගේ අම්මට තාත්තට පවා ගහනවා බනිනවා. විතරක් නෙවෙයි අපේ සිටු පවුලෙ සියලුම ධනය, භවභෝග ඇය ඇගේ පාලනයට අරන්. මේ උන්දැගෙ කරදර ඉවසගන්න බැරිම තැන දැන් සේවකයොත් එක්කෙනා දෙන්නා සිටු මාලිගාව අතෑරලා යන්න පටන් අරන්. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් ඇයව යහපත් මාර්ගයට අරන් දෙන්නකියලා කිව්වලු.

ඊටපස්සෙ සුජාතාව කැඳවපු බුදුන් වහන්සේ ඇයට සත්භාර්යා සූත්‍රය දේශනා කරලා තියෙනවා. බුදු බණ අහලා එදා ඉඳන් කරුණු කාරණා අවබෝධ කරගත්තු සුජාතා සිටු දේවිය යහපත් භාර්යාවක් විදියට කුලගෙයි ජීවත්වුණා කියලයි ජාතක පොතේ සඳහන් වෙන්නේ.

සුජාතාව වගේ නොවුණත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේත් දවසක් බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා සප්ත භාර්යාවෝ ගැන මේ විදියට කතා කළා කියලා පූජාවලියේ තිස්එක්වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එතුමිය පිරිනිවන් පාන්න සූදානම් වෙලා බුදුන් වහන්සේ ළඟට ගිහින් මෙන්න මේ විදියට කිව්වලු.

ස්වාමීනි, මම මේ සසර ගමනේ අනන්ත අප්‍රමාණ කාලයක් ඔබගේ මාතෘ භාර්යාව විදියට ජීවත් වුණා. ඒ විතරක් නෙවෙයි සකී, භගිනි වගේම දාසි භාර්යාව විදියටත් ජීවත් වුණා. මම කවදාවත් ඔබ වහන්සේට චෞර, ආර්ය භාර්යාවක් වුණේ නෑ. මේ සසර ගමනේ කිසිම ආත්මභවයක ඔබට වදකභාරියක් වුණේ නෑ. හැමදාමත් ඔබට කීකරුව අවනතව කටයුතු කළා. කවදාවත් මම ඔබේ අවසරයකින් තොරව යමක් කරලා නෑ. එහෙම එකට සසරේ ආපු අපි මුණගැහෙන අන්තිම ආත්මභවය තමයි මේ. අදත් සමුගන්න මට ඔබේ අවසරය ලැබේවාකියලා ඉල්ලීමක් කළාලු.

යශෝදරාව ගැනයි, සුජාතාව ගැනයි ඔය කතා දෙක මුලින්ම කියලා හිටියේ අද අපි කතා කරන්නේ සප්ත භාර්යාවන් වර්තමාන පවුල් ජීවිතවලට ගැලපෙන්නේ කොහොමද කියන කාරණාව ගැන නිසා.

සුජාතාවට සත් භාර්යා සූත්‍රය දේශනා කරන වෙලාවෙදි වධක භාර්යාව, ​චෞරි භාර්යාව, ආර්ය භාර්යාව, මාතෘ ආර්යාව, භගිනි භාර්යාව, සකී භාර්යාව සහ දාසි භාර්යාව කියලා භාර්යාවන් සත්දෙනෙකු ගැන බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

වධක භාර්යාව කියලා කියන්නේ සැමියාට හිතවත් නැති, දයාවක් නැති සහ අන් පුරුෂයන්ට ඇලුම් කරන භාර්යාවට. ඒ වගේම සැමියාගේ වස්තුවෙන් කොටසක් සඟවාගන්නා භාර්යාව ​චෞරිසම භාර්යාවක්. ගෙදර වැඩක්පලක් නොකරන, සැමියාව යටත් කරගෙන ආර්යාවක් වගේ ඉන්න භාර්යාවට කිව්වේ ආර්යසම භාර්යාව කියලා. ඊළඟට සැමියාට හිතවත්ව අනුකම්පාවෙන් අම්මා කෙනෙක් වගේ ඔහුව රකින භාර්යාව තමයි මාතෘසම භාර්යාව. නංගි කෙනෙක් වගේ සැමියා ඉදිරියෙත් ලැජ්ජාව බය රැකගෙන කීකරුව ඉන්නවා කිව්වේ භගිනිසම භාර්යාව. දාසිසම භාර්යාව කිව්වේ තමන්ගේ සැමියාගෙන් එල්ලවෙන තාඩන පීඩනවලට තරහා නොගෙන, ඔහුගේ වැරදි ඉවසගෙන ඉන්න පුළුවන් භාර්යාවට. ඊළඟට තමන්ගේ සැමියාව දැක්කම යෙහෙළියක් වගේ සතුටු වෙන, සිල්වත්, කුලවත්, පවිත්‍ර භාර්යාව බුදුන් වහන්සේ හැඳින්වුවේ සකී භාර්යාව කියලා. මේ සත් භාර්යාවන්ගෙන් සාර්ථක පවුල් ජීවිතයකට ගැලපෙන හොඳම භාර්යාව කවුද?

ඒ ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා සමඟින්.

මේ කතාව පටන්ගන්නකොට සත් භාර්යාවෝ කියන්නෙ කවුද කියලා වෙන වෙනම පැහැදිලි කරලා තියෙන නිසා මම ආපහු ඒ ගැන සඳහන් කරන්න යන්නෙ නෑ. හැබැයි බුදුන්ගේ කාලේ ඉඳලා අද මේ මොහොත වෙනකම්ම අපේ කාන්තාවන්ගෙන් 40%ක් තාමත් යන්නේ එදා යශෝදරාව ගිය අඩිපාරේ. ඒ කිව්වේ ඒ අය 40% තාමත් ජීවත්වෙන්නේ මාතෘ, සකී, භගිනි කියන භාර්යාවෝ විදියට. හැබැයි ඉතින් මොකක්දෝ අවාසනාවකට ඉතුරු 60% කටයුතු කරන්නේ අර සුජාතාව විවාහ වෙලා මුල් කාලෙදි කටයුතු කරපු විදියට. කිව්වේ අර කලින් කියපු චෞර, ආර්ය සහ වධකභාරියෝ විදියට.

මේ පහුගිය දවසක මට අවුරුදු 45ක විතර නාඳුනන පිරිමි කෙනෙක් දුරකතනයෙන් කතා කරලා හරිම දුක හිතෙන කතාවක් කිව්වා. ඔහු කියනවා අනේ බුදු මහත්තයෝ මම කසාඳ බැඳපු දවසෙ ඉඳන් දරුවෝ නිසා පුදුම දුකක් විඳගෙන මගේ නෝනා එක්ක පවුල් කන්නෙකියලා.දරුවෝ නැත්නම් මේ වෙනකොට දහස් වාරයක් නෝනව දික්කසාද කරලා ඉවරයිකියලා. ඊටපස්සේ මම ඇහැව්වා එහෙම කියන්න හේතුව මොකක්ද කියලා. පස්සේ ඔහු ඉතාමත් බයාදු ස්වරයෙන් මට කිව්වා අනේ මහත්තයෝ කවුරුවත් කිව්වට විශ්වාස කරන්නෙ නෑ මගේ නෝනා මට හරියට ගහනවාකියලා. ‘පොඩි වරදක් වුණත් මට අතේ තියෙන පොල්කටු හැන්දෙන් පවා දමලා ගහනවාකියලා. එක දවසක් රැකියාවට ගිහිල්ලා ගෙදර එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා කියලා ගෙට ගොඩවුණ හැටියේ බිත්තියට තියලා තද කරලා බෙල්ල මිරිකගෙන හිටියැයි කියලත් කිව්වා. පඩි දවසට පඩි පැකට් එකෙන් එක රුපියල් පන්සීයක් දාහක් හරි අඩුව දුන්නොත් නිදහසේ බත් කටක්වත් කන්න දෙන්නෙ නැතිලු. අනික ඔහුගේ හැම දේපළකින්ම කොටසක අයිතිය රණ්ඩු කරලා බලහත්කාරයෙන් ඇගේ නමට පවරගෙන තියෙනවා.

ඔය කතාව විතරක් නෙවෙයි ඕකට මම තවත් හොඳ උදාහරණයක් කියන්නම්. මම විශ්වවිද්‍යාලයේ උගන්වපු කාලේ මගෙන් ඉගෙනගත්තු දක්ෂ සිසුවියක් හිටියා සමාධි කියලා. ඇයගේ පියා ඉතාමත් අධික විදියට බීමත්කමට ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලයෙක්. දවසක් ඔය දැරිය මාත් එක්ක කතාබහ කරපු වෙලාවක මම නිකමට වගේ ඇගෙන් ඇහුවා දැන් කොහොමද දුව තාත්තගේ වෙනසක් නැද්ද?’ කියලා. පස්සේ ඇය ඉතාමත් කණගාටුවෙන් මට කිව්වා මොන පිස්සුද සර් තාත්තා බොන එක නතර කරන්නෙත් නෑ. තාත්තා අමාරුවෙන් හරි නොබී ඉන්න උත්සාහ කළත් අපේ අම්මා, තාත්තට ඒකට ඉඩ දෙන්නෙත් නෑ කියලා. අම්මා, තාත්තට නොබී ඉන්න දෙන්නෙ නැහැයි කියපු කතාවක් මම ඔය ඇහුවමයි. නිසා මම ඒ දුවගෙන් ඒ කතාවේ තේරුම මොකක්ද කියලා ඇහුවා.

එතකොට ඒ දුව මට කිව්වා සර් අපේ අම්මා හැමදාම තාත්තා බීලා එනකල් බලන් ඉන්නේ තාත්තගේ සාක්කුවෙන් රුපියල් පන්සීයක් දාහක් හොරකම් කරගන්න. එකපාරක් තාත්තා හොඳටම බීලා ආපු දවසක තාත්තගේ අතේ තිබුණු බ්‍රේස්ලට් එක අම්මා ගලවගෙන. අන්තිමට පහුවදා උදේ අම්මම තාත්තාට බැන්නලු කනමදයා වගේ බීගෙන අතේ කරේ තියෙන ඒවත් වට්ටගෙන ගෙදර එන්නේ කියලා.

ඉතින් බලන්න මම ඔය කියපු කතා දෙකේම හිටපු බිරින්දෑවරු දෙන්නා ළඟම ස්වාමියාගේ දේ හොරකම් කරන චෞරි භාරියාවගෙත්, සැමියා ගැන කිසිම දයාවක් අනුකම්පාවක් නැති වධක භාරිගෙ වගේම සැමියාව යටත් කරගෙන ජීවත්වෙන ආර්ය භාර්යාවගෙත් ගති ලක්ෂණ කොයිතරම් තියෙනවද කියලා. ඉතින් ඔහොම බිරින්දෑවරු එක්ක ජීවත්වෙලා ස්වාමි පුරුෂයෙකුට මැරෙනතුරාවට සුගතියක්, සතුටක්, සැනසීමක් තියෙයිද? ඔය කතාවට කියපු බිරින්දෑවරු දෙන්නා විතරක් නෙවෙයි අද සමාජයේ සමහර කාන්තාවෝ ස්වාමියාට වඩා රැකියාවෙන්, නිලයෙන්, බලයෙන් වගේම උගත්කමෙන් ඉහළට ගියාමත් තමන්ගේ ස්වාමිපුරුෂයාව යටත් කරගෙන ඉන්න බලනවා.

එතැනින් පස්සේ දාසි භාර්යාව, මාතෘ භාර්යාව වගේම සකී භාර්යාව ගැනත් අත්තනායක මහතා කිව්වේ මේ විදියේ කතාවක්.

අපි අතරේ ඉන්න කාන්තාවෝ දිහා වෙන වෙනම බැලුවම ඔය භාර්යාවෝ හත්දෙනාගේ ගොඩට වෙනම වැටෙන අයව දවසකට ඕනතරම් මුණගැහෙනවා. ඒ ගැන කතා කරනවා නම් ඕනතරම් උදාහරණ තියෙනවා කියන්න. ඒ නිසා ඔය දාසි, මාතෘ, සකී කියන ගොඩට වැටෙන භාර්යාවෝ ගැනත් මම මටම අහන්න දකින්න ලැබුණු අත්දැකීම් දෙක තුනකින් පැහැදිලි කරන්නම්.

මම ජීවත්වෙන මහනුවර පළාතේ මම දන්න කියන පවුලක් හිටියා. අය හරිම දුප්පත්. දරු තුන්දෙනෙකුත් හිටියා. සැමියයි බිරිඳයි බොහෝම අමාරුවෙන් තමයි ඒ අයට ඉගැන්නුවේ. ඒ ප්‍රශ්න ​සේරම අස්සේ මේ ගෙදර මනුස්සයා පුදුම විදියට අර බිරිඳව සැක කරනවා. ඒ මනුස්සයට නොකියා රෑකට හදිසියකට දොට්ට පිලකට ගියත් තෝ මට හොරෙන් හොර මිනිහට දොර ඇරියද කියලා අහලා ගහනවා. මම ඔය ගැන හොඳටම දන්නවා. මොකද ඔය ජෝඩුව මහ රෑට හට්ටි මුට්ටි පොළොවේ ගහගෙන ගහ මරාගන්නකොට අර පොඩි උන් මරලතෝනි දෙනවා. එතකොට අහල පහල ගෙවල්වල අපි තමයි වලි බේරන්න යන්නේ. හැබැයි ඉතින් අපි ගිහින් අර මනුස්සයට දෙකක් දීලා පැත්තකට ඇදලා ගන්න හදනකොට අර ගෑනු මනුස්සයා මහ හයියෙන් වැලහින්නි වගේ අඬනවා අනේ මහත්තයෝ මට කොච්චර ගැහුවත් මගේ මිනිහට ගහන්න එපා. ඒ මගේ දරුවන්ගේ තාත්තා කියලා. අනේ ඉතින් මුන් දෙන්නා රෑට ගහ මරාගෙන උදේට මොකුත් නොවුණ ගානට අත් බැඳගෙන ජෝඩු දාලා පාරෙත් බැහැලා යනවා.

දැන් මම ඔය කතාව කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අන්න නියම දාසි භාරි කියලා. කතාව ඇත්ත. සැමියා කොයිතරම් ගැහුවත් බැන්නත් ඒවා අමතක කරලා ඔහුට සමාව දෙන ඇය දාසි භාර්යාවක් තමයි. නමුත් අපේ මහත්තුරු ඔය දාසි භාර්යාව අල්ලගෙන තියෙන්නේ නැට්ටෙන්. මොකද බුදුන් වහන්සේ ඒ කාලේ දාසි භාර්යාව කිව්වේ ගහන්න ගහන්න වඳින ගෑනිට නෙවෙයි. ඔහුගේ ආර්ථික ප්‍රශ්න නිසා සිදුවන සුළු සුළු අඩුපාඩු පුළුවන් තරම් ඉවසගෙන ඉන්න භාර්යාවට. අන්න ඒ නිසා මේ දාසි භාර්යාව වගේ අනවශ්‍ය විදියට ඔලුව නවාගෙන ඉන්න භාර්යාවො අද සමාජෙට කොහෙත්ම ගැලපෙන්නේ නෑ.

ඊළඟට ඔය කියන මාතෘ භාර්යාවත් අද සමාජයට ප්‍රායෝගිකව ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. මොකද සමහර ගෑනු උදවිය ඉන්නවා මහත්තයා උදේට ගෙදරින් යනකොටත් කුස්සිඅම්මා වගේ දැලි පෙරාගෙන කුස්සියේ. රෑට ගෙට ගොඩවෙනකොටත් අර ඇඳුම පිටින්ම මූණකටවත් හෝදන්නෙ නැතුව කුස්සියේ. ඊළඟට මහත්තයට ආසාවකටවත් යාළුවෙක් හම්බවෙන්න යන්න දෙන්නෙ නෑ, කැමති දෙයක් කන්න බොන්න දෙන්නෙ නෑ, කැමති ඇඳුමක් අඳින්න දෙන්නෙ නෑ, ඒ වගේම රාජකාරි වැඩකටවත් ගෑනු කෙනෙක් එක්ක වැඩිපුර කතාබහ කළොත් එදාට ගෙදර මහ විනාසයක්. ඉතින් එහෙව් ගැහැනුන්ගෙන් පිරිමියෙක් සුන්දර බිරිඳක්, ප්‍රේමවන්තියක් දකින්නෙ කොහොමද? මොකද සාර්ථක පවුල් ජීවිතයකට ඒක අත්‍යවශ්‍යයි. ඒ අය හරියට හැසිරෙන්නේ අර අපි පුංචි කාලේ අම්මලා වේවැලක් අරගෙන හරි වැරදි කියාදිදී පස්සෙන් පැන්නුවා වගේ. අන්තිමට වෙන්නෙ අම්මට ගෙදර ඉන්න කියලා අර මනුස්සයා ආදරේ කරන්න පිටින් කෙල්ලෙක් හොයාගෙන යන එක. මොකද අම්මගෙ ආදරෙයි, බිරිඳගෙ ආදරෙයි අතර ලොකු වෙනසක් පිරිමියෙකුට දැනෙන නිසා. ඊටපස්සේ ඉතින් මං මෙච්චර කඹුරලත් මුගෙ වනචරකමට මූ වෙන ගෑනු හොයන් ගියාය කියලා දේවාල ගානේ ගිහිල්ලා අර මනුස්සයාට පලි ගහනවා.

ඊළඟට සැමියට නංගි කෙනෙක් වගේ ජීවත්වෙන භගිනි භාර්යාවත් අද කාලෙට ගැලපෙන්නේ නෑ. මොකද කොයිවෙලාවෙත් එයා මෙයාට අයියා ගානවා. මෙයා අරයාට සුදු නංගියා ගානවා. ඉතින් පැත්තක ඉන්න අපිට හිතාගන්න බෑ මුන් දෙන්නා ගෑනියි මිනිහයිද, එක කුස උපන් උන්ද කියලා. නමුත් මේ භගිනි භාර්යාවත් අද වෙනකොට අර දාසි භාර්යාවට වගේ අපේ උදවිය නැට්ටෙන් අල්ලගෙන ඉන්නේ. මොකද බුදුන් වහන්සේ සැමියට නංගි කෙනෙක් වගේ ඉන්න කියලා කිව්වේ ඔහුට ජ්‍යේෂ්ඨ සහෝදරයෙකුට වගේ ගරුබුහුමන් දක්වන්න කියන එකට මිසක් මගේ අයියා, මගේ නංගි කියලා ලොකු හාට් එකක් දාලා​ ෆෝන් එකේ නොම්මරේ සේව් කරගන්න එකටවත්, මගේ සුදු නංගියා කියලා අතේ පයේ පච්චයක් කොටාගන්න එකටවත් නෙවෙයි.”

ඒ නිසා මේ භාර්යාවෝ හත්දෙනාගෙන් සාර්ථක පවුල් ජීවිතයකට හොඳටම ගැලපෙන්නේ තමන්ගේ ස්වාමියා එක්ක මිතුරියක් විදියට කටයුතු කරන්න පුළුවන් සකී භාර්යාවට කියලයි මහාචාර්යවරයා කිව්වේ.

මං එහෙම කියන්නේ මොකද දන්නවද? බිරිඳක් තමන්ගේ ස්වාමියාට මිතුරියක් වගේ වුණහම මිතුරියක් ඇතුළේ​ ප්‍රේමවන්තියක්ව අමුතුවෙන් අඹන්න ඕනෙ නැති නිසා. එතකොට හොඳ ප්‍රේමවන්තියක් ඇතුළේ අමුතුවෙන් දයාබර බිරිඳක්ව අඹලාගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. එහෙම වුණාම අවශ්‍ය වෙලාවට අම්මා කෙනෙක් වගේ තමන්ගේ සැමියාව රැකබලාගන්නත්, හොඳ නරක කියලා දෙන්නත්, ඕනෙම දෙයක් කියලා කරලා විහිළුවෙන් තහළුවෙන් ඔහුව සතුටින් තියන්නත් ඇයට පුළුවන්කම තියෙනවා. අනික බිරිඳක් හොඳ මිතුරියක් වුණහම ඕනෙම දෙයක් ඇයට කියන්න කිසිම ස්වාමි පුරුෂයෙක් දෙපාරක් හිතන්නේ නෑ. එතකොට සැමියා බිරිඳටවත්, බිරිඳ සැමියාටවත් අනවශ්‍ය විදියට බයවෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම හොරබොරුව කියන එක පවුල් ජීවිතෙන් ඉබේටම නැතිවෙලා යනවා. අනික දෙන්නා දෙමහල්ලෝ යාළුවෝ වගේ ඉන්නකොට එයා මෙයාගෙවත්, මෙයා එයාගෙවත් දේවල් හොරකම් කරන්නෙ, ගහමරාගන්නෙ නෑ. ඒ නිසා මට නම් හිතෙන්නේ ස්වාමි පුරුෂයෙකුට තැනේ හැටියට අවශ්‍ය විදියට ආදරේ කරන්න පුළුවන් හොඳම භාර්යාව සකී භාර්යාව කියලා. මොකද ඇගෙන් බිරිඳ අවශ්‍ය වෙලාවට බිරිඳත්, ප්‍රේමවන්තිය දකින්න කැමති වෙලාවට ප්‍රේමවන්තියවත්, හරි වැරැද්ද කියලා දෙන, දයාව, සෙනෙහස අවශ්‍ය වෙලාවට අම්මා කෙනෙක්වත් එළියට ගන්න පුළුවන්.

අන්න ඒ නිසා අද මම අපේ පුතාලට කියන්නේ උඹලා කසාදයක් කරගන්නකොට යාළුවෙක් විදියට ඉන්න පුළුවන් කෙල්ලෙක්ව තෝරගනිල්ලා. උඹලගෙ හොඳම යාළුවා කෙල්ලෙක් නම් ගිහින් ඒකිගෙන් බය නැතුව යාළුවෙන්න අහපල්ලා. මොකද කසාද බඳින්න කලින් යාළුවෝ විදියට ඉන්න උන්ට බැන්දට පස්සේ උන්ගේ අඩුවැඩිය කවුරුත් ඇවිල්ලා අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ කියලයි මට හිතෙන්නේ. කාලයක් යාළුවෝ විදියට ඉඳලා තියෙන නිසා උන් ​උන්ගේ අඩුවැඩි ගැන ඔය කොයිකාටත් වඩා හොඳට දන්නවා. හොඳ බිරිඳකට යාළුවෙක් වෙන්න බැරි වුණත්, හොඳ යාළුවෙකුට අනිවාර්යයෙන්ම හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කියලා අර කතාවටත් කියන්නේ අන්න ඒකයි.”

 

ලිහිණි මධුෂිකා